මෙරට සෑම දිස්ත්‍රික්කයකම සෑම රෝගයක් සඳහාම විශේෂඥ වෛද්‍යවරු සිටී නම් ජාතික රෝහල්වල මෙන්ම අනෙකුත් ප්‍රධාන රෝහල්වල පවතින තදබදය ඉවත් කළ හැකි බව විගණන වාර්තාවක් මඟින් පෙන්වා දී තිබේ.
එමෙන්ම මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා සහ ආපදා අවදානම් කළමනාකරණය සඳහා අවශ්‍ය මානව සම්පත ද මෙරට තුළ ඉතා අවම මට්ටමක පවතින බව එම වාර්තා මඟින් සඳහන් කර ඇත.
ජාතික විගණන කාර්යාලය මඟින් මෙරට සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතිය සහ ආපදා කළමනාකරණ පද්ධතිය පිළිබඳව සිදුකළ විගණනයකදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.
මෙහිදී අදාළ විගණනය මඟින් පෙන්වා දී ඇත්තේ ඕනෑම වසංගතයකට මුහුණදීම සඳහා ප්‍රමාණවත් මානව සම්පත් සෞඛ්‍ය ආයතනවලට බඳවා ගත යුතු බවය.
ජනගහනයේ ව්‍යාප්තිය අනුව ප්‍රමාණවත් වෛද්‍ය නිලධාරීන් සහ විශේෂඥ වෛද්‍යවරුන් පත් කළ යුතු වුව ද සියලුම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාල සඳහා මානව සම්පත්වල අඩුපාඩු පැවති බව එම වාර්තාව මඟින් පෙන්වා දෙයි.
ප්‍රාථමික සෞඛ්‍ය සේවය සඳහා බිම් මට්ටමේ වෛද්‍ය කාර්යය මණ්ඩල අත්‍යවශ්‍ය වන අතර මෙරට බිම් මට්ටමේ වෛද්‍ය කාර්යය මණ්ඩලය ඉතා අවම මට්ටමක පැවති බව සඳහන්ය.
කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, කුරුණෑගල, යන දිස්ත්‍රික්ක මෙරට ඉහළ ජනාකීර්ණ දිස්ත්‍රික්ක වුව ද අධීක්ෂණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, අධීක්ෂණ මහජන සෞඛ්‍ය වින්නඹු මාතාවන්, මහජන සෞඛ්‍ය වින්නඹු මාතාවන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් සහ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් ප්‍රමාණවත් පරිදි මෙම දිස්ත්‍රික් සඳහා අනුයුක්ත කර නොතිබුණු බව ද එම වාර්තාව පෙන්වාදෙයි.
මීට අමතරව කොළඹ, කළුතර, මාතලේ, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, මන්නාරම, වව්නියාව, මුලතිව් සහ මඩකලපුව යන ප්‍රදේශවලට මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර සහකාරවරුන් අනුයුක්ත කර නොමැති බව සඳහන්ය.
ගම්පහ සහ මාතලේ දිස්ත්‍රික්කවලට ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් අනුයුක්ත කර නොමැති බව පෙන්වාදෙන එම වාර්තාව මේ හේතුවෙන් වසංගත ව්‍යාප්තියක දී සෞඛ්‍ය සුරක්ෂිත බව පවත්වාගැනීම අපහසු බව ද සඳහන් කළේය.
මෙරට තුළ විශේෂඥ වෛද්‍ය තනතුරු 35ක් පැවතිය ද එක් එක් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලවල විශේෂඥයින් නොමැතිවීම සහ ප්‍රමාණවත් නොවීම ද නිරීක්ෂණය කර තිබේ.