අල්ලස් ලබාගැනීමේ චෝදනා මත මරදාන පොලිසියේ පරිසර අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත.
දඹදෙණිය ප්රදේශයේ පුද්ගලයෙකුගෙන් ලද පැමිණිල්ලක් මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් විසින් අදාළ උපපොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
කුලියාපිටිය දිසා අධිකරණයේ රිය අනතුරක් සම්බන්ධයෙන් වන්දි ඉල්ලා පවරා ඇති නඩුවට සාක්ෂි ලබාදීම සඳහා ලබාගත හැකි ගමන් වියදම් මුදල වන රුපියල් 2000ක මුදලට අමතරව පැමිණිලිකරුට වාසි සහගත වන ආකාරයෙන් අධිකරණයේ දී සාක්ෂි ලබාදීම සඳහා එම පොලිස් නිලධාරියා විසින් රුපියල් 10,000ක මුදලක් ඉල්ලා තිබූ බව සඳහන්ය.
මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට ලද පැමිණිල්ලක් අනුව එම අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේ සැකකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු කුලියාපිටිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.