ඇසළ පෙරහැරේ විදුලි ආලෝකකරණය සඳහා විදුලි ගාස්තු ගෙවන්නැයි පවසා ආණ්ඩුව සිදුකර ඇත්තේ සමස්ත බෞද්ධ සමාජයටම නිගාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
මෙවර පෙරහැරේ ආලෝක කටයුතු සඳහා රුපියල් එක්කෝටි තිස්දෙලක්ෂ අනූනවදහසක මුදලක් ගෙවිය යුතු බව සඳහන් කරමින් විදුලිබල මණ්ඩලය විසින්
දියවඩන නිලමේවරයා වෙත පසුගියදා ලිඛිත දැනුම් දීමක්ද සිදුකර තිබුණා.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය එළඹෙන අගෝස්තු 21 වනදා සිට අගෝස්තු 31 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එවැනි පසුබිමක දළදා මාළිගා පරිශ්‍රය, සතර දේවාල,පෙරහැර වීථි සංචාරය කරන ප්‍රදේශ ඇතුළු ජනතාව ගැවසෙන ස්ථානවලට අවශ්‍ය අමතර විදුලි ආලෝකකරණ කටයුතු සඳහා ගෙවිය යුතු මුදල් පිළිබඳව විදුලිබල මණ්ඩලය විසින් දියවඩන නිලමේවරයා වෙත ලිඛිත දැනුම් දීමක් කර තිබුණා.
එහි දැක්වුණේ මෙම සියලු ආලෝකකරණ කටයුතු සඳහා රුපියල් එක්කෝටි තිස්දෙලක්ෂ අනූනවදහසක මුදලක් ගෙවිය යුතු බවයි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ පෙර කිසිකලෙක නොවූ විරූ පරිදි දළදා පෙරහැරට විදුලි බිල්පතක් ලියා ආණ්ඩුව ස්වකීය අශිෂ්ට පිළිවෙත හෙළිදරව් කර ඇති අතර මේ පහත් ක්‍රියාව සම්බුදු දහමටත්, බෞද්ධ සමාජයටත් , මුළු මහත් රටටත් කරන ලද නිගාවක් බවයි.
විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථාන උදෙසා සහනදායී විදුලි බිලක් වෙත යොමුවීම ආණ්ඩුව නොවළහා කළ යුතු අතර ඒ උදෙසා සංස්කෘතික අරමුදලේ දායකත්වය ලබාගැනීමද කළ හැකි බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.
මේ අතර ඓතිහාසික ඇසළ පෙරහැර සඳහා මෙතෙක් කල් විදුලි ගාස්තුව දරනු ලැබුවේ නොමිලේ බවත් මෙවර ඒ සඳහා මුදල් ගෙවන්නැයි නියම කරන්නේ පළමු වරට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.