පාර්ලිමේන්තුව ගිනි තැබීමට ආ පිරිසගෙන් කට උත්තරයක්වත් ලබාගැනීමට වත්මන් ආණ්ඩුවට නොහැකිවී ඇති බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පවසනවා.
තමන්ගේ නිවසේ ඇතිකරගත් බල්ලා සොරකම් කරගෙන ගිය පුද්ගලයාත් හිරේ ගිය බවත්, පාර්ලිමේන්තුව ගිනිතැබීම්ට ආ පුද්ගලයන්ගෙන් අඩුතරමේ කට උත්තරයක්වත් ලබාගැනීමට නොහැකිවීම පිළිබඳ තමා කණගාටුවන බවද රාජපක්ෂ සඳහන් කළා.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්රික් ආසන බලමණ්ඩල රැස්වීම පසුගියදා මනම්පිටිය මහවැලි ප්රතිභා ශාලාවේදී පැවති අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කළා.
“රනිල් වික්රමසිංහ ජනාධිපතිතුමා ආර්ථික වශයෙන් රට යම්කිසි ස්ථානයකට ගෙනල්ලා තියෙනවා අපි විශ්වාස කරනවා. හැබැයි අපි අතර ප්රතිපත්තිමය ගැටලුවක් තියෙනවා. රනිල් වික්රමසිංහ මහතා අපි ඒ මොහොතේ තෝරාගත්තේ පාර්ලීමේන්තුව තුළින් හොඳම විකල්පය හැටියටයි.
හැබැයි මහින්ද රාජපක්ෂ මහතාගේ අවුරුදු 55 ක දේශපාලන ප්රතිපත්තියත්, රනිල් වික්රමසිංහ මහතාගේ අවුරුදු 45 ක දේශපාලන ප්රතිපත්තිය තවම වෙනස් වෙලා නැහැ. අපිට වගකීමක් තියෙනවා වර්තමානයේ ආණ්ඩුවේ ප්රතිපත්ති ජනතාවාදී ප්රතිපත්ති බවට පරිවර්තනය කරන්න.