ශාන්ති කර්මයක් අතරතුරදී රෝගාතුර වූ කාන්තාවක් රෝහල් ගතකිරීමෙන් පසු ජීවිතක්ෂයට
ලග්ගල පොලිස් වසමේ දාස්ගිරිය, හත්තොට අමුණ ප්රදේශයේදී පෙරේදා (16) සවස් කාලයේ සිට ඊයේ (17) වන දින උදෑසන දක්වා සිදු කරන ලද ශාන්ති කර්මයක් අතරතුරදී හදිසි අසනීප තත්වයකට පත්වූ කාන්තාවක් රෝහල් ගත කිරීමෙන් මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව ලග්ගල පොලිස් ස්ථානය වෙත ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.
මරණකාරිය වයස අවුරුදු 48 ක් වූ ගල්කිරියාගම ප්රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වෙන්නේ.
ලග්ගල, දාස්ගිරිය ප්රදේශයේ නිවසක අසනීප තත්වයෙන් පසු වූ කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු සුවපත් කිරීම සඳහා ශාන්ති කර්මයක් පවත්වන අතරතුර ශාන්තිකර්මය සිදුකළ තැනැත්තා විසින් වරින් වර මොවුන් තිදෙනාට තැඹිළි ගෙඩි 21 ක් බැගින් පෙවීම සිදුකළ බවත්, එසේ සිදුකරන අතරතුරදී මෙම කාන්තාව හදිසි අසනීප තත්වයකට පත්වූ පසු කහ දියර ද බිමට සලස්වා තිබෙනවා.
ඉන්පසු රෝගී තත්වය උත්සන්න වීම හේතුවෙන් මෙම කාන්තාව දාස්ගිරිය රෝහල වෙත ඇතුළත් කර වැඩිදුර ප්රතිකාර සඳහා දඹුල්ල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.
මෘතදේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය අද (18) වන දින දඹුල්ල රෝහලේදී සිදුකිරීමට නියමිත අතර ශාන්ති කර්මය සිදුකරන ලද වයස අවුරුදු 25ක් වන ගල්කිරියාගම ප්රදේශයේ පදිංචි පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
සිද්ධිය සම්බන්ධව ලග්ගල පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතයි.