ජාත්‍යන්තර පාසල් අධීක්ෂණ සහ නියාමනය කිරීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය තුළ විශේෂ ඒකකයක් පිහිටුවීමට අධ්‍යාපන කටයුතු පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවේදී යෝජනා වී තිබෙනවා.
පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති ආංශික අධීක්ෂණ කාරක සභා සාකච්ඡාවේදී මෙම යෝජනාව ඉදිරිපත් වූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන ජාත්‍යන්තර පාසල් පිළිබදවත්, එම පාසල් පද්ධතිය මගින් සිසු දරුවන්ට ලබාදෙන අධ්‍යාපන හා එහි ගුණාත්මකභාවය ඉහළ නැවීම පිළිබදවත් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
එසේම, ජාත්‍යන්තර පාසල් සහ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ නොපවතින අනෙකුත් පාසල් නියාමනය කිරීම සදහා අවශ්‍ය නිර්නායක ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සකස් කරමින් පවතින බව මෙහිදී අනාවරණ වුණා.
ගුරු මාරුවීම් මෙන්ම ගුරු උපදේශක සේවයේ පවතින ගැටලු පිළිබද ද කාරක සභාවේදී කරුණු සාකච්ඡා කරන ලද අතර එකී ගැටලු නිරාකරණය කිරීමට ගත යුතු පියවර කඩිනමින් ගන්නා ලෙසයි කාරක සභාවේදී අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත්තේ.
එසේම රජයේ පාසල්වල පවතින ගුරු හිගය පිළිබදව ද අවධානය යොමු කෙරුණු අතර ඉංග්‍රීසි හා උසස් පෙළ පන්ති සදහා ගුරුවරුන්ගේ හිගයක් පවතින බව ද අනාවරණ වුණා.