එදා මෙරට විශ්වවිද්‍යාල ආසියානු විශ්වවිද්‍යාල ලැයිස්තුවේ ඉහළින්ම තිබූ බවත්, එම ප්‍රමිතිය සහ කීර්තිනාමය නැවත මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඇතිකළයුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
එමඟින් විදේශීය සිසුන්ද මෙරට විශ්වවිද්‍යාල කෙරෙහි ආකර්ශණය කරගත හැකි අතර එය මෙරට ආර්ථිකය සංවර්ධනයට ඉවහල් වනු ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පසුගිය 09දා කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති “CVCD විශිෂ්ටතා සම්මාන” උළෙල අමතමින්.
මෙරට අධ්‍යාපන ක්රමයේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී පැහැදිළි කළ ජනාධිපතිවරයා සෑම අයෙකුටම නිසි වයසේ දී අධ්‍යාපන කටයුතු අවසන් කර ඉදිරියට යාමට හැකි පසුබිම නිර්මාණය කළයුතු බව ද සඳහන් කළා.
වසර දෙකකට වරක් ශ්‍රී ලංකා උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව විසින් සංවිධානය කරනු ලබන “CVCD විශිෂ්ටතා සම්මාන” උළෙලේදී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ විද්වතුන් විසින් පර්යේෂණ, නවෝත්පාදන සහ නව නිපැයුම් වෙනුවෙන් ලබා දෙනු ලබන කැපී පෙනෙන දායකත්වය හා ජයග්‍රහණ ඇගයීමට ලක් කෙරෙනවා.
ශ්‍රී ලංකා උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුවේ සභාපති රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන විසින් මෙහි පිළිගැනීමේ කතාව සිදු කළා.
කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය විසින් සම්මාන උළෙල පිළිබඳ සවිස්තරාත්මක හඳුන්වා දීමක් සිදු කළා.