ගවයින් අතර පැතිර යන බවට හඳුනාගෙන ඇති චර්ම රෝගය මේ වන විට ත්‍රිකුණාමලය හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල ප්‍රදේශ ගණනාවකින් ද වාර්තා වනවා.
මෙම චර්ම රෝගය වැලඳී දින 15ක් පමණ ගත වන විට ගවයින් මිය යාම සිදුවන බවයි ගොවීන් පවසන්නේ.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පල්ලියගොඩැල්ල, පඹුරාන, අහමඩ්පුර සහ මහතලාකොළවැව ආදි ගම්මානවල වැඩි පිරිසක් සිය ජීවිකාව ලෙස සිදුකරනු ලබන්නේ කුඹුරු ගොවිතැන් සහ කිරි ගව පාලනයයි.
දැනට මසකට පමණ පෙර සිට මෙම ප්‍රදේශයේ එළ ගවයින් අතර සුළු වශයෙන් දක්නට ලැබුණු චර්ම රෝගයක් මේ වන විට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී තිබෙනවා.
ගවයින්ගේ ශරීරය පුරා කුඩා ගෙඩි හට ගන්නා අතර රෝගය වැලඳී දින 15 ක් පමණ ගත වන විට තුවාලවල පණුවන් බෝවී ගවයින් මිය යාම සිදුවන බවයි ගොවීන් පවසන්නේ.
රෝගය වැලඳුනු ගවයින් දහවල් කාලයේදී අධික හිරු රශ්මිය ඇති ස්ථාන වෙත ගොස් ආහාර නොගෙන රැඳී සිටින බව ද ගොවීන් නිරීක්ෂණය කර තිබෙනවා.
කිරි ගොවීන් මැදිරිගිරිය පශු වෛද්‍ය කාර්යාලයට ගොස් රෝගයට ප්‍රතිකාර විමසූ විට ඔවුන් පවසා තිබුණේ මෙම රෝගී තත්ත්වයට මෙතෙක් නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති බවයි.
දෛනිකව කිරි ලීටර 500ක් පමණ ලබා ගන්නා කිරි ගොවීන්ට මේ වන විට කිරි ලීටර 100ක්වත් ලබාගැනීමට නොහැකි වී ඇති අතර ගොවීන් ඉල්ලා සිටින්නේ මියගිය සතුන් වෙනුවෙන් වන්දි මුදලක් ලබාදෙන ලෙසයි