අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ කිරිබත්ගොඩ පොලිසිය විසින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මතයි.
මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් සිසුන් කැලණිය සරසවිය අසල අද සවස ආරම්භ කරන ලද සිසු විරෝධයක් අතරතුරදීයි.
මෙහිදී සරසවි සිසුන් රැසක් පන්දම්ද රැගෙන සරසවි භූමියේ සිට කොළඹ – මහනුවර මාර්ගය දෙසට ගමන් කර ඇති අතර එහිදී පොලිසිය විසින් දැඩි රැකවල් යොදා තිබෙනවා.
එම උද්ඝෝෂණය අතරතුර විරෝධතාකරුවන් පිරිසක් කොළඹ මහනුවර ප්රධාන මාර්ගය අවහිර කිරීමට උත්සාහ කිරීමේදී විරෝධතාකරුවන් හා පොලිසිය අතර නොසන්සුන්තාවයක් ඇති වී තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව තවත් හිමි නමක් ඇතුළු සැකකරුවන් 08 දෙනෙක් ද අයුතු ජනරාශියක සාමාජිකයන්ව සිටිමින්, පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදුකිරීම, රාජකාරියට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් අත් අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.