බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව සඳහන් කළා.
දිවයින පුරා විටින් විට පැයට කිලෝමීටර 45 දක්වා තද සුළං ඇතිවිය හැකියි.
දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 55 ත් 60 ත් දක්වා වැඩිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඊසානදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව ස්ථාපිතව පැවති මෝඛා අතිශය චන්ඩ සුළි කුණාටුව මේ වනවිිට බංග්ලාදේශය සහ මියන්මාර වෙරළ තීරයන්ට කඩාවැදී තිබෙනවා.
මෙම සුළි කුණාටු තත්වය හේතුවෙන් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදෙන ජනතාව තවදුරටත් අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
මේ අතර පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහකට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මකයි.
රත්නපුර, කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහායි මෙම අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කර ඇත්තේ.
එමෙන්ම මාරවිල – ආදොළුව පාලම අසළ ගං වතුරේ ගමන් කරමින් සිටියදී දියේ ගිලී අතුරුදන්වූ පුද්ගලයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
ඊයේ(14) උදෑසන මෙලෙස දියේ ගසාගෙන ගොස් අතුරුදන්වූයේ 42 හැවිරිදි කිවුල්හේන – ආදොළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර කියා සිටියේ ගිං ගඟේ සහ නිල්වලා ගඟේ ගං වතුර තත්වය තවදුරටත් පවතින බවයි.
එමෙන්ම අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මුලටියන කොට්ඨාසයට අයත් පාසල් අටක් අද දින වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම දකුණු පළාතේ ආපදා අවදානම් සහිත ප්‍රදේශවල පාසල් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත බලය පැවරූ බවයි පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා සඳහන් කළේ.
මේ අතර මෝඛා පස්වන කාණ්ඩයේ ප්‍රබල සුළි කුණාටු තත්වයක් ලෙස බංග්ලාදේශය සහ මියන්මාරයේ වෙරළ තීරවලට කඩාවැදී තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ ලොව විශාලතම සරණාගත කඳවුර වන කොක්ස් බසාර් හි උණ බම්බුවලින් කූඩාරම් 1,300 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි.
මියන්මාරයේ අවම වශයෙන් පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් ඇති බවට වාර්තාවෙනවා.
නායයෑම් සහ ගං වතුරින්ද එම ප්‍රදේශයට බලපෑම් එල්ලවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
පවතින තත්වය හමුවේ බංග්ලාදේශයේ ගිණිකොණ දිග ප්‍රදේශයේ ලක්ෂ පහකට වැඩි පිරිසක් සිය නිවෙස්වලින්ද ඉවත් කර තිබෙනවා.