අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කළ අවදියේ සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට අධික වත්කම් හා දේපල අයථා ලෙස උපයා ගත් බවට චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට ඒ මහතාගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කර තිබෙන මූලික විරෝධතාවලට අදාළ වාචික දේශන ජුනි මස 16 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
එම නඩුව අද (15) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එම අවස්ථාවේදී විත්තිකාර විමල් වීරවංශ මහතා ද අධිකරණයේ පෙනී සිටියේය.
මෙහිදී පැමිණිලිකාර අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරුට අදාළ අධිචෝදනා පත්‍රය 2017 වසරේදී ගොනුකරනු ලැබූවද ඊට අදාළ නඩු විභාගය මේ දක්වා ආරම්භ කිරීමට නොහැකි වී තිබෙන බව පෙන්වා දුන්නේය.
එම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මූලික විරෝධතාවලට අදාළ ලිඛිත දේශන ද ඉදිරිපත් කර ඇතැයි සඳහන් කළ අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරිය එම කාල ප්‍රමාදය සැලකිල්ලට ගෙන ඒ සම්බන්ධයෙන් තීන්දුවක් කඩිනමින් ලබාදෙන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව විත්තිකරුගෙන් දේශපාලන වශයෙන් පළිගැනීම සඳහා ගොනුකරන ලද්දක් බව සඳහන් කර සිටියේය.
එම නඩුවට සමාන වෙනත් නඩුවකට අදාළව අභියාචනයක් ඉහළ අධිකරණය ගොනුකර තිබෙන බවත් එහි තීන්දුව ලැබෙන තෙක් මෙම නඩුවේ විභාගය කල්තැබීම සුදුසු බව ජනාධිපති නීතිඥවරයා යෝජනා කළේය.
කෙසේ වෙතත් මෙම නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කළ යුතු බවට අධිකරණය විශ්වාස කරන්නේ නම් නඩු විභාගය සඳහා දින නියම කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත් මෙම නඩුවට සමාන වෙනත් නඩුවක අභියාචනයක් ඉහළ අධිකරණයේ ගොනුකර තිබෙන බව විත්තිය විසින් ප්‍රකාශ කළද එම තත්ත්වය මෙම නඩුවේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාමට බාධාවක් නොවන බව විනිසුරුවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවලට අදාළ වාචික දේශන ජුනි මස 16 වනදා ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා නියම කළේය.
2009 වසරේ ජනවාරි මස 01 වනදා සහ 2014 වසරේ දෙසැම්බර් මස 31 වනදා අතර කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ විමල් වීරවංශ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.