මෙරට සියලු දේශපාලන නායකයන්ට ආර්ථික ලණු දුන්නේ මුදල් අමාත්‍යාංශ ලේකම්ව සිටි පී.බී. ජයසුන්දර මහතා බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති බන්දුල ගුණවර්ධන පැවසුවේ මෙම අර්බුදය සඳහා පාර්ලිමේන්තුවත් ප්‍රධාන වගඋත්තරකරුවකු බවයි. අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු වෙනුවට එදිනෙදා සරල දේවල් පිළිබඳව පාර්ලිමේන්තුව අවධානය යොමුකරන බවද ඇමතිවරයා චෝදනා කළා.
මීට පෙර අවස්ථා ගණනාවකදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ගණනාවක් මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයාට ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් චෝදනා එල්ල කළා. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පී.බී. ජයසුන්දර ‘ආර්ථික ඝාතකයෙකු’ බවට කළ චෝදනාව එවක ආන්දෝලනයට හේතු වුනා.