මුලතිව්, වවුනිකුලම වැවේ ගිලී එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පැවසීය.
මල්ලාවි ප්‍රදේශයේ මළ ගෙදෙරකට පැමිණීමෙන් අනතුරුව සිය පවුලේ ඥාතීන් සමඟ වැවේ දියනෑමට ගිය අවස්ථාවේ සහෝදරයින් දෙදෙනා මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී තිබේ.
යාපනය, නල්ලූර් ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සහෝදරයන් වන 27 හැවිරිදි රවිචන්ද්‍රන් සුරේෂ් සහ 16 හැවිරිදි රවිචන්ද්‍රන් සුමන් නැමති තරුණයින් දෙදෙනා මෙලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත.
තරුණයින් දෙදෙනාගේ මව සහ පියා ද වැවේ දියනෑමට ගොස් ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ වැවේ සොරොව්ව විවෘත කර තිබී ඇත.
එම අවස්ථාවේ දී විශාල ජල පහරකට මැදිව තරුණයින් දෙදෙනා දියේ ගිලුණු බව මුලික පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ.
බාල සහෝදරයා පළමුව දියේ ගිලී ඇති අතර පසුව ඔහුව බේරාගැනීමට යෑමේ දී වැඩිමහල් සහෝදරයා දියේ ගිලී ඇත.
මියගිය දරුවන්ගේ පියාට ඇවිදීමේ අපහසුතාවයකින් පෙළි ඇති බැවින් දියට බැසීමට නොහැකි වී ඇති බවද පොලීසිය සඳහන් කළේය.
වැව් සොරොව්ව වසා දමා තරුණයින් බේරාගැනීමට කටයුතු කර ඇති නමුත් එම අවස්ථාව වනවිටත් තරුණයින් ජීවිතක්ෂයට පත්ව ඇත.
මියගිය තරුණයින්ගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව්, මාන්චෝලෙයි රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මල්ලාවි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.