ගත වූ පැය 24ක කාලය තුළ දිවයිනේ විවිධ ප්රදේශවලින් සිදුවූ රිය අනතුරු කිහිපයක් වාර්තා වෙනවා.
මාවතගම, යටිවිල්ල ප්රදේශයේ ඊයේ(25) සවස් කාලයේ දී යතුරු පැදි අනතුරක් සිදුව තිබෙනවා.
එහිදී මහනුවර දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගයේ පෙරලී ගොස් තිබෙනවා.
සිදුවූ අනතුරෙන් යතුරුපැදි කරු හා පසු පැදිකාරිය තුවාල ළැබීමෙන් අනතුරුව මාවතගම රෝහලට ඇතුලත් කර තිබෙන බව පොලිසිය පවසනවා.
රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වයස අවුරුදු 21ක් වූ කැන්දවල, මැල්සිරිපුර පදිංචිව සිටි පසු පැදිකාරිය මියගොස් තිබෙනවා.
එමෙන්ම අම්බලන්ගොඩ, පොල්වත්ත ප්රදේශයේ දී හික්කඩුව දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් හා එම දෙසටම ධාවනය වූ යතුපැදියක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් යතුරුපැදිකාරිය සහ එහි ගමන් කළ වයස අවුරුදු හතර හමාරක් වන කුඩා දරුවෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා.
තුවාල ලැබූ දෙදෙනා බලපිටිය රෝහලට ඇතුලත් කරන අවස්ථාවේ දී යතුරුපැදිකාරිය මියගොස් ඇති බවත්, අනතුර සිදුකළ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවටත් ගෙන තිබෙනවා.
සිදුවීම සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය විසින් විමර්ශන සිදුකරනු ලබනවා.
තවද නිට්ටඹුව, බටලීය ප්රදේශයේ දී ඊයේ(25) සවස කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ යතුරුපැදියක් පෙරලී ගොස් අනතුරක් සිදුව තිබෙනවා.
මෙහිදී යතුරුපැදිකරුට පාලනය කරගැනීමට නොහැකි වූ යතුරුපැදිය පෙරලී ගොස් ධාවනය වූ බස් රථයක ගැටී තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ පසුපැදිකාරිය වතුපිටිවල රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් තිබෙනවා.
මරණකාරිය වයස අවුරුදු 23ක් වූ දොරවක ප්රදේශයේ පදිංචිකාරියක් බව පොලිසිය පවසනවා.
නිට්ටඹුව පොලිසිය විසින් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
එමෙන්ම කොඩිකාමම්, එරුවන් ප්රදේශයේ දී ද යතුරුපැදි අනතුරක් සිදුව තිබෙනවා.
එහිදී කොඩිකාමම් දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකි වීමෙන් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීගොස්
මෙම අනතුර සිදුව තිබෙනවා.
තුවාල ලබා පේදුරුතුඩුව රෝහලට ඇතුලත් කිරීමේ දී වයස අවුරුදු 25ක් වූ චාවකච්චේරි ප්රදේශයේ පදිංචි පැදිකරු මියගොස් තිබෙනවා.
මියගොස් තිබෙන තැනැත්තා කිලිනොච්චිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් වෙනවා.