පාස්කූ ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අද(21) දිනට වසර හතරක් සපිරෙනවා.
ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය තැනැත්තන් සිහිකරමින් සහ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා සිටිමින් අද උදෑසන 8 සිට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා ජන පවුරක් නිර්මාණය කරන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්රමුඛ කතෝලික සභාව පසුගියදා නිවේදනය කළා.
එමෙන්ම පෙරවරු 8.45 ට ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වීමට නියමිතයි.
මේ අතර, ඊයේ පස්වරුවේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානයේදී දිව්‍ය පූජාවක් පැවැත්වුණු අතර, රාත්‍රි 07 ට යැදුම් පාගමනක් කෙරුණා.
2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේ ලංකාවේ කතෝලික හා ක්‍රිස්තියානි පල්ලි තුනක් ද, කොළඹ සුඛෝපභෝගී හෝටල් තුනක් ද ඉලක්කකර ඉස්ලාමීය ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වුණා.
එදිනම, දෙමටගොඩ පිහිටි නිවාස සංකීර්ණයක ද, දෙහිවල පිහිටි ලැගුම්හලක ද පිපිරීම් වාර්තා වූ අතර සමස්ථ ප්‍රහාරයෙන් විදේශිකයන් 45 දෙනෙකු, පොලිස් නිලධාරීන් තිදෙනෙකු, සහ බෝම්බකරුවන් අටදෙනා ද ඇතුළුව පුද්ගලයින් 277 දෙනෙකු මරණයට පත්වුණා.
එමෙන්ම තවත් 500කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගතකරනු ලැබුවා.
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10 ට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේදී දිව්‍ය පූජාවක් පැවැත්වෙන බවද ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා සඳහන් කළා.
මේ අතර මෙම පා ගමන වැළැක්වීම සඳහා මීගමුව පොලිස් ස්ථානය මගින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙතින් තහනම් නියෝගයක් ඉල්ලා ඇති බවත්, එය අධිකරණය ප්‍රතික්ෂේප කර ඇති බවටත් පළවන වාර්තා අසත්‍ය බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ මීගමුව පොලිස් ස්ථානය මෙවැනි තහනම් නියෝගයක් ලබාගැනීමට අධිකරණය වෙත කරුණු වාර්තා කර නොමැති බවයි.
එහෙත් අද පස්වරුවේ මීගමුව – තෙල්වත්ත මංසන්ධියෙන් ආරම්භ කර මීගමුව නගරය කේන්ද්‍ර කරගනිමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් සහ පා ගමනක් සමඟින් ජන රැළියක් පැවැත්වීමට වෙනත් පාර්ශවයක් විසින් කටයුතු යොදා ඇති බවට මීගමුව පොලිසිය වෙත තොරතුරු ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
එමඟින් ප්‍රදේශයේ පදිංචිකරුවන්ට සහ මහජනතාවට තම එදිනෙදා කාර්යයන් ඉටුකරගැනීමට නොහැකිවීම නිසා ඇතිවිය හැකි ගැටුම්කාරී තත්වය වළක්වාගැනීම සඳහා මෙය සුදුසු ක්‍රීඩා පිටියක් හෝ ස්ථානයක් වෙන් කරවා ගෙන සිදුකිරීමට අදාළ ආඥාවක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
ඒ අනුව යම් අපරාධමය වරදක් සිදුවන්නේ නම් පොලිසියට ඇති බලතල අනුව ක්‍රියාකරන ලෙස අධිකරණය දැනුම්දී ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළා.