ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෙට පවත්වන මහ සභා රැස්වීම කැඳවූයේ පක්ෂ ව්‍යවස්ථාව අනුව නොව පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව බව එම පක්ෂ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මෙම මහ සභා රැස්වීම නීත්‍යානුකූල නොවන බව සඳහන් කරමින් නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්.
හෙට (22) පෙරවරු 10ට බත්තරමුල්ල නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2023 වසර සඳහා වන මහ සභා රැස්වීම පත්වන බවට දැනුම් දෙමින් ඒ සඳහා යෝජනා ඇත්නම් දින 5 ක් තුළ තමන් වෙත ලැබීමට සළස්වන ලෙස පක්ෂ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම්, මහාචාර්ය ජී.එල්. පීරිස් වෙත පසුගිය 11 වනදා ලිඛිත දැනුම්දීමක් සිදුකර තිබුණා.
ඊට ප්‍රතිචාර දක්වමින් මහාචාර්ය ජී.එල් පීරිස්, සඳහන් කර තිබුණේ එවැනි මහ සභා රැස්වීමක් පැවැත්වීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවයි.
එබැවින් ඊට එරෙහිව සුදුසු අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නා බවද ඔහු ප්‍රකාශ කර තිබුණා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසන්නේ තමන් අදාළ මහ සභා රැස්වීම කැඳවූයේ පක්ෂ ව්‍යවස්ථාවට අනුව නොව පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව බවයි.
ඩලස් අලහප්පෙරුම හිටපු අමාත්‍යවරයාගේ පාර්ශවයට සහය දැක්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට පසුගිය මාර්තු මාසයේ රැස්වූ පොදුජන පෙරමුණේ විධායක සභාව තීරණය කළා.