විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (20) පෙරවරුවේ පැවැත්වෙනවා.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ පෙරවරු 11ට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම ආරම්භ වන බවයි.
අලුත් අවුරුද්දෙන් පසුව පැවැත්වෙන පළමු පක්ෂ නායක රැස්වීම මෙය වෙනවා.
අලුත් අවුරුද්දෙන් පසු පාර්ලිමේන්තුව මුල් වරට ලබන 25 වැනිදා රැස්වන අතර එදිනට ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි සැළසුම් කර ඇත්තේ.
මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු ආයතන කිහිපයක් එළඹෙන පාර්ලිමේන්තු සතියේ කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා.
ඒ අනුව ලබන 25 වැනිදා අපනයන ණය රක්ෂණ සංස්ථාවත්, 26 වැනිදා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවත්, ලබන 27 වැනිදා ශ්‍රී ලංකන් ගුවන් සමාගමත් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඊට අමතරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මෙම කමිටුව හමුවට කැඳවා ඇත්තේ ලබන 28 වැනිදායි.