පාරිභෝගික සේවා අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයට මහජනතාවගෙන් ලද පැමිණිල්ලකට අනුව රජය විසින් නියම කර ඇති මිළට වැඩියෙන් බිත්තර විකිණූ බව කියන වයඹ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම්වරයාට අයත් බිත්තර අලෙවි සැලක් වටලනු ලැබීය.
මාවතගම පොලීසියේ සහායද ලබා ගනිමින් මාවතගම පිලැස්ස උඩුමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය එම බිත්තර අලෙවිසැල වටලනු ලැබීය.
පාරිභෝගික සේවා අධිකාරිය විසින් නියම කර ඇති රුපියල් 45 ක මිළට වඩා රුපියල් 55 ක මිළක් අයකරමින් වයඹ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් රත්නසිරි බණ්ඩාර අලහකෝන් මහතා අළුත් අවුරුදු සමය ඉලක්ක කර ගනිමින් වැඩි මිළට බිත්තර අලෙවි කරමින් සිටි බව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරියෙකු පැවසීය.
උපාය දූතයෙකු යොදවා බිත්තර හැටක් රුපියල් 55 බැගින් මිළදී ගැනීමෙන් පසුව මෙම වැටලීම සිදු කර තිබේ.
වැටලීම සිදු කරන අවස්ථාවේදී එම ස්ථානයේ බිත්තර පනස් දහසකට අධික ප්‍රමාණයක් අලෙවිය සඳහා සූදානම් කර තිබී ඇත.
රජය විසින් නියම කරන ලද මිළ ඉක්මවා බිත්තර අලෙවි කිරීම සම්බන්ධයෙන් රත්නසිරි බණ්ඩාර මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරියා ප්‍රකාශ කළේය.
සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපතිවරයා ඇතුළු එම සංගමයේ ප්‍රධාන පෙළේ සාමාජිකයන් රැසක් සමඟ දිවයිනේ වැඩිම කුකුළු ගොවිපළ සංඛ්‍යාවක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තිබුණද කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේවනවිට උග්‍ර බිත්තර හිඟයක් පවතී.
බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සාමාජිකයන්ම මේ ආකාරයට බිත්තර හිඟයක් මවා පාමින් වැඩි මිළට බිත්තර අලෙවි කිරීමේ මාෆියාවක් ක්‍රියාත්මක කරමින් සිටින බවට ජනතාව චෝදනා කරති.