පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බැඳුම්කර සහ ගිවිසුම් කඩකරන ලද ආචාර්යවරුන් සහ කාර්යමණ්ඩල සාමාජිකයන් 111 දෙනෙකුගෙන් අයවිය යුතු රුපියල් දහතුන් කෝටි දහ අට ලක්ෂ හැත්තෑඑක්දහස් හාරසීය පනස් හතරක මුදලක් අයකර ගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කර නොමැති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 2021 වසරට අදාළ වාර්ෂික වාර්තාවේ මේ බව දැක්වෙනවා.
කෙසේ වෙතත්, ඊට පිළිතුරු ලබාදෙමින් පාලනාධිකාරිය සඳහන් කර ඇත්තේ අදාළ වටිනාකම් අය කර ගැනීම සඳහා ක්‍රියා කරමින් සිටින බවයි.
ඒ අනුව අර්ථසාධක අරමුදලේ ශේෂයන් මගින් බැඳුම්කර වටිනාකම් අය කර ගැනීම මෙන්ම බැඳුම්කර කඩකළ ආචාර්යවරුන් නඩු පැවරීම සඳහා නීති අංශ වෙත යොමුකර ඇති බව ද දක්වා තිබෙනවා.
ඊට අමතරව වසර තුනේ සිට වසර 40 දක්වා කාලයක සිට විශ්වවිද්‍යාලයේ පීඨ 09 ක සිසුන්ගෙන් අයවිය යුතු ශාලා ගාස්තු සහ දඩ මුදල් රුපියල් දහතුන් ලක්ෂ 25,849 ක් 2021 වසරේ දෙසැම්බර් 31 වනදා වනවිටත් අයකර ගැනීමට කටයුතු කර නොමැති බව එහි සඳහන්.
එසේම, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය සඳහා අනුමත ශිෂ්‍ය සංඛ්‍යාව, ලියාපදිංචි කළ ශිෂ්‍ය සංඛ්‍යාව සමඟ සැසඳීමේදී පසුගිය වසර 12 ක කාලය තුළ සිසුන් 218 ක ප්‍රමාණයක් අඩුවෙන් ලියාපදිංචි කර ඇති බවද විගණකාධිපති වාර්තාව මගින් පෙන්වා දෙනවා.