අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට අද (06) කොළඹ මහාධිකරණය ඇප නියම කළේය.
ඔහු ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් සිටියදී රජයේ වාහනයක් අවභාවිත කිරීමෙන් රුපියල් එක්කෝටි තිස්හය ලක්ෂ අසූදහසක (13,680,000) මුදලක් අවභාවිත කර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.
අල්ලස් කොමිසම වැඩිදුරටත් චෝදනාකර ඇත්තේ 2006.08.01 වනදා සිට 2007 ජුලී මස 31 වනදා දක්වා කාලය තුළ මෙම අවභාවිත කිරීම සිදුකර ඇති බවය.
මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ අද මෙම නඩුව කැඳවනු ලැබීය.
එහිදී විත්තිකාර සරණ ගුණවර්ධන ට අධිචෝදනා පත්‍ර භාරදුන් අතර රුපියල් 50,000ක මුදල් ඇප සහ ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.
මීට අමතරව විත්තිකරුගේ විදෙස් ගමන් තහනමක් පනවා මෙම නඩුව මැයි මස 04 වනදා යළි කැඳවීමට මහාධිකරණ විනිසුරු නියම කළේය.