නැගෙනහිර පළාතේ සමහර ප්‍රදේශවල වී අස්වැන්න වෙළෙඳ පොළට පැමිණෙමින් තිබෙන බවත්, එහෙත් වී මිලදී ගැනීමට රට තුළ කිසිදු වැඩපිළිවෙළක් තවමත් සකස් කර නොමැති බවත් ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි.
මේ නිසා වී කිලෝවක් පෞද්ගලික අංශය මිලදී ගනු ලබන්නේ, රුපියල් 90ත් රුපියල් 100ත් අතර මුදලකට බවත්, මෙවර වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට ගොවීන්ට ආසන්න වශයෙන් රුපියල් 135ක පමණ මුදලක් වැය වී තිබෙන බවත් එම සංගමයේ සභාපති අනුරාධ තෙන්නකොන් මහතා පැවසීය.
පසුගිය වගා කන්නයේ වී අස්වැන්නට නිසි මිලක් නොමැති වීම හා රජය හෝ පෞද්ගලික අංශය නිසි ලෙස වී මිලදී නොගැනීම නිසා ගොවීන් සතුව වී මෙට්‍රික්ටොන් ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් තවමත් තිබෙන බවට වාර්තා වන බවද හෙතෙම පවසා සිටියේය.
එසේ තිබියදී විදේශ රටවලින් ගෙන්වන ලද සහල් කිලෝ කෝටි හයක ප්‍රමාණයක් පවුල් ලක්ෂ විස්සකට මාසයකට සහල් කිලෝ 10 බැගින් මාස තුනක් බෙදාදීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙන බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.
රටේ දුප්පත් ජනතාවට සහනාධාර ලබාදීම පිළිබඳ ගැටලුවක් නොමැති බවත්, මේ නිසා සිදුකළ යුතුව තිබෙන්නේ, ගොවීන් සතුව තිබෙන වී තොග සාධාරණ මිලකට මිලදී ගෙන කුඩා හා මධ්‍ය පරිමාණ මොල් උපයෝගී කරගෙන සහල් බවට පත් කර ජනතාවට බෙදාදීම බවත් ඒ මහතා පවසා සිටියේය.
මෙවර කන්නයේදී ගොවි ජනතාවට පොහොර සහනාධාර ලබාදෙන බවට සඳහන් කළද, සහනාධාරය හිමි වූයේ, යූරියා අවශ්‍යතාවෙන් 50%ක ප්‍රමාණයකට පමණක් බවත්, මේ නිසා මඩ පොහොර හා බන්ඩි පොහොර අධික මිලක් ගෙවා ගොවීන්ට මිලදී ගැනීමට සිදු වූ අතර, මේ නිසා මෙවර කන්නයේදී වී සඳහා සාධාරණ මිලක් අවශ්‍ය බවත් සභාපතිවරයා සඳහන් කළේය.
මෙවර කන්නයේ වී අස්වැන්න නැගෙනහිර පළාතේ සමහර ප්‍රදේශවලින් හා අහස් දියෙන් වගා කළ ප්‍රදේශවල වෙළෙඳ පොළට පැමිණෙමින් තිබෙන බවත්, ඉදිරි සති දෙක තුන වනවිට අනෙකුත් ප්‍රදේශවල වී අස්වැන්නත් වෙළෙඳ පොළට පැමිණීමට නියමිතව තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.