ගෝලීය ආහාර උද්ධමනය තවදුරටත් ඉහළ මට්ටමක පවතින අතර එය අඩු ආදායම් රටවල සිට ඉහල මැදි ආදායම් රටවල් දක්වා 88%ත් 93%ත් අතර මට්ටමක පවතින බව ලෝක බැංකුව පවසයි.
ලෝක බැංකුව සිය නවතම වාර්තාවෙන් පෙන්වාදෙන්නේ ආහාර උද්ධමනය දැඩි ලෙස බලපාන කලාප අතරට ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවද ඇතුළත් බවය.
ඉහළ ආහාර උද්ධමනයෙන් වැඩිම පීඩාවට පත් රටවල් අතර ශ්‍රී ලංකාව 7 වැනි ස්ථානයට නම්කර ඇත්තේ 74%ක උද්ධමනයක් සටහන් කරමිනි.
321%ක උද්ධමනයක් සහිත සිම්බාබ්වේ දේශයට එහි පළමු ස්ථානය හිමිවේ.
යුක්රේන යුද්ධය හේතුවෙන් ආහාර සැපයුම් අඩාලවීමට අමතරව ආහාර අනාරක්ෂිතභාවය ඉහළයාමට තවත් හේතුවක් ලෙස ලෝක බැංකු වාර්තාව පෙන්වාදෙන්නේ “ලා – නිනා” කාලගුණ සංසිද්ධියේ බලපෑමෙන් දකුණු අර්ධගෝලයේ රටවල ආහාර නිෂ්පාදනය අඬාලවීමය.
මෙරට උද්ධමනය පසුගිය අප්‍රේල් මාසයේදී 30% සීමාව ඉක්මවා ගිය අතර, සැප්තැම්බර් මාසයේදී 85.8%ක උපරිමයට පත්වී ඔක්තෝබර් වන විට 73.7%ක් දක්වා සමනය වී තිබේ.
නොවැම්බර් මසදී එය සටහන් වුයේ 65%ක් ලෙසය.
මේ අතර ලෝක බැංකුව ගෝලීය සාගිනි දර්ශකය තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව සඳහන් කරයි.
ආහාර පද්ධතියේ දුර්වලතා හේතුවෙන් ලොවපුරා රටවල ජනතාව සාගින්නට ගොදුරුවීම ඉහළ ගොස් ඇති බව එමගින් පෙන්වා දෙයි.
ගෝලීය සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාව 64වැනි ස්ථානයට නම්කර ඇති අතර බංග්ලාදේශය 84වැනි ස්ථානයටත්, පාකිස්ථානය 99වැනි ස්ථානයටත් නම්කර තිබේ.
ලෝක සාගිනි දර්ශකයේ ඉන්දියාව නම්කර ඇත්තේ 107 වැනි ස්ථානයටය.