ලීසිං වාරික ගෙවීම පමා වීම හේතුවෙන් පෞද්ගලික බැංකුවක් විසින් අත්පත් කර ගැනීමට නියෝග නිකුත් කර තිබූ ප්‍රියස් වර්ගයේ කාර් රථයක් සහ එහි තිබූ රුපියල් ලක්ෂ 7 ක මුදලක්, පොලීසියෙන් යැයි පවසා පැහැර ගත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (27දා) විමර්ශනයක් ආරම්භ කළ බව මරදන්කඩවල පොලිසිය පවසයි.
වී වෙළඳාම සිදු කරන 39 හැවරදි ව්‍යාපාරිකයෙකු සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව පොලීසිය කියයි.
පැමිණිලිකරු පෙරේදා (27දා) තවත් පුද්ගලයෙකු සමඟ ඒ 9 මාර්ගයේ එම රථයෙන් ගමන් කරමින් සිටියදී, වැගන් ආර් රථයකින් පැමිණි පුද්ගලයන් තිදෙනකු ඉට්කටිට්ටිය හංදිය අසලදී මාර්ගය හරස් කර, නතර කර පොලිසියෙන් යැයි පවසමින් බිමට බස්සවා රථය පැහැර ගෙන ගිය බවත්, එම රථය තුළ රුපියල් ලක්ෂ 7 ක මුදලක්, ජංගම දුරකථනයක් සහ ඇඳුම් බෑගයක් තිබී ඇතැයිද පොලීසිය පැවසීය.
මෙම මෝටර් රථයේ වාරික ලෙස, ලීසිං පහසුකම් ලබා දුන් අදාළ පෞද්ගලික බැංකුවට රුපියල් 111700 ක් මසකට ගෙවන බවත් දැනට මාස 7ක කාලයක් ගෙවීමට නොහැකිවීම හේතුවෙන් එම මුදල් ඊයේ (28දා) ගෙවන බවට පැමිණිලිකරු බැංකුවට පොරොන්දු වී තිබූ බවට පැමිණිල්ලේ සඳහන්ව ඇති බව පොලීසිය කියයි.
මාසික වාරික නොගෙවීම හේතුවෙන් මෙම රථය අත් පත්කර ගැනීම සඳහා නියෝග නිකුත් කර තිබුණද, මෙම පැහැර ගැනීම සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් තම ශාඛාව නොදන්නා බව අදාල බැංකුවෙන් විමසූ අවස්ථාවේදී එහි ප්‍රකාශකයෙකු පැවසූ බව පොලීසිය සඳහන් කළේය.එම සිද්ධිය සම්බන්ධයෙන් මොරගොඩ පොලීසියේ නිලධාරීහු පිරිසක් වැඩි දුර විමර්ශන සිදු කරති.