JAT Holdings කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද ඇරඹේ

0
143

පසුගිය දා දියත් කරන ලද සාර්ථක මූලික කොටස් නිකුත්වෙන් පසු සිය ද්විතියික කොටස් ‌වෙළෙඳපොළ ගනුදෙනු අද (12) දින ආරම්භ කෙරෙන බව JAT Holdings නිවේදනය කර සිටී.

JAT Holdings මූලික කොටස් නිකුතුවේ දී සාමාන්‍ය කොටස් 82,904,846 ක් කොටසක් රු. 27 බැගින් නිකුත් කරන ලදී. එම කොටස් නිකුතුව අධි දායකත්වයක් සමගින් සාර්ථක ලෙස අවසන් වූ බව සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියේය. මෙම කොටස් නිකුතුව තුළින් එක්රැස් වූ මුළු මුදල රු. බිලියන 2.2 කි.

සමාගමේ පර්යේෂණ හා සංවර්ධන අංශය අතිනවීන පහසුකම් සමගින් වැඩිදියුණු කිරීම සහ බංග්ලාදේශයේ නිෂ්පාදන කර්මාන්තශාලාවක් ඇරඹීම සඳහා මෙම මුදල් ආයෝජනය කෙරෙනු ඇත. මෙම කොටස් නිකුතුව මගින් සමාගමේ 16% ක හිමිකාරීත්වයක් මහජනතාව වෙත හිමි වී තිබේ.

1993 වසරේ ආරම්භ වූ JAT Holdings සමාගම එදා පටන්ම තීන්ත හා ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස මෙන්ම Sayerlack නිෂ්පාදන සඳහා ලොව විශාලතම බෙදාහැරීම් සමාගම ලෙස විශාල කීර්තියක් දිනා සිටී. මේ වනවිට දකුණු ආසියාව සහ අප්‍රිකාව යන කලාප වල ව්‍යාපාර කටයුතු සිදුකරන එම සමාගම, ඉදිරියේදී තම ආවරණ පරාසය තදුරටත් පුළුල් කිරීමටත්, තමන් සමග අත්වැල් බැඳගෙන සිටින සියලුම පාර්ශ්වයන්ට වැඩි වැඩියෙන් ප්‍රතිලාභ ලබාදීමටත් අපේක්ෂා කරයි.