‘‘ෆොනී’’ සුළි කුණාටුව අද ලංකාවට

0
246

ශ‍්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් ස්ථාපිත වී ඇති ‘‘ෆොනී’’ නම් වූ සුළි කුණාටුව අද (29) දිනය තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනුමාන කරනවා.

මෙම පද්ධතිය ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වයඹ දෙසට ගමන් කර ක‍්‍රමයෙන් ඊසාන දෙසට ගමන් කරනු ඇති බවටයි පැවසෙන්නේ.

මෙම සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ යන පළාත්වලට මිලි මීටර් 100ත් 150ත් අතර තද වැසි අපේක්ෂා කෙරෙනවා. ඇතැම් ස්ථානවලට ඉතා තද වර්ෂාපතනයක් ද බලාපොරොත්තු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

පවතින අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් ධීවර සහ නාවික ප‍්‍රජාව මෙන්ම නායයාම් අවදානමේ ඇති ප‍්‍රදේශවල ජනතාව ද දැනුවත් කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මේ බව සඳහන් කළා.

අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් ඇති බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ද මෙහිදී ජනතාව දැනුවත් කෙරුණා. දකුණ, වයඹ, උතුරුමැද සහ උතුර යන පළාත්වලටත්, ත‍්‍රීකුණාමලය සහ අම්පාර යන දිස්ත‍්‍රික්කවලටත් තද සුළං ඇති විය හැකි බවයි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ.

ෆොනී සුළි කුණාටුව අද, හෙට සහ අනිද්දා යන දිනවල ශ‍්‍රී ලංකාවේ කාලගුණයට බලපෑම් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. මුහුදු ප‍්‍රදේශවල සුළං වේගය ද වැඩි විය හැකි බවටයි අනතුරු ඇගවීමක් සිදු කෙරුණේ.