විග්නේෂ්වරන් උතුරට එක්සත් ජාතීන්ගේ කාර්යාලයක් ඉල්ලයි

0
158

යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් මෙන්ම අතුරුදන් වූවන් සොයා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උප. කාර්යාලයක් උතුරේ ස්ථාපිත කළ යුතු බවත් ඒ ආකාරයේ යාන්ත්‍රණයක් තුළින් යුක්තිය ඉටුකළ යුතු බවත් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පැවසීය.

ජිනීවා යෝජනාව මෙන්ම යුද අපරාධ විමර්ශනයද අභියෝගයට ලක්කරමින් ශ්‍රිලංකා රජය කටයුතු කරන බවත් මෙතුළින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ කීර්තිනාමයට විශාල හානියක් සිදුවන බවත් ශ්‍රීලංකා රජයට යලිත් කිසිදු කාල දිගුවක් නොදිය යුතු බවත් විග්නේෂ්වරන් මහතා අවධාරණය කළහ.

අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් අතුරුදහන් වූවන්ට යුක්තිය ඉල්ලා ඊයේ (25) කිලිනොච්චියේදී කළ විරෝධතාවට තමිල් මක්කල් කූට්ටනි පක්ෂයේ සහාය පලකරමින් එක්ව අදහස් දක්වමින්විග්නේෂ්වරන් මහතා මේ බව අවධාරණය කළහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විග්නේෂ්වරන් මහතා මෙසේද කීය.

‘යුද්ධයේදී අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් සිදුකරන මේ විරෝධතාවට පූර්ණ සහාය ලබා දෙන්න තමයි මම අද මෙතනට ආවේ.උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාව එකට එක්වෙලා අද සිදුකරන හර්තාල් ව්‍යාපාරය එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් මුළුමහත් ජාත්‍යන්තරයටත් අවබෝධ වෙලා ඇති.එක්සත් ජාතීන්ගේ සංවිධානය අපගේ ජනතාවගේ වේදනාවන් තේරුම් අරන් අප්‍රමාදව කටයුතු කරන්න ඕන.මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කරගත් යෝජනාව ක්‍රියාත්මක කිරීම සදහා ශ්‍රීලංකාවට තවදුරටත් කාලය ලබාදුන්නා කියන්නේ මානව හිමිකම් කවුන්සිලය තමන්වම රවටා ගැනීම හා සමාන ක්‍රියාවක්.

යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් ඇතුළුව මානව හිමිකම් කවුන්සිල යෝජනාවේ නිර්දේශ බොහෝ ක්‍රියාත්මක නොකරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබියෙදී මේ යෝජනාව ක්‍රියාත්මක කිරීම සදහා තවත් කාලයක් ලබාදෙන්නේ කුමකටද කියා ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා කල්පනා කළයුතුයි.

මේ නිසා තමයි ශ්‍රීලංකාවේ සිදුවු මේ සිද්ධීන් ගැන ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් ස්ථාපිත කර විමර්ශනය කළ යුතුයි කියල අප අවධාරණය කරන්නේ.නොඑසේ නම් ජාත්‍යනන්තර නීතිරිති වලට අනුකූල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරල එහි විමර්ශනය කිරීමේ වගකීම මානව හිමිකම් කවුන්සිලය අතටම ගතයුතුයි.තමිල් මක්කල් කූට්ටනි නැමති අප පක්ෂය ගත් එම තීරණය යෝජනාවක් වශයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාට ලිඛිතව යොමුකර සිටියා.

ඒ වගේම අඛණ්ඩව සිදුවෙමින් පවතින මානව හිමිකම් කඩවීම් නැවතීමේ විකල්පයක් වශයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ උප කාර්යාලයක් උතුරු නැගෙනහිර පළාත් කේන්ද්‍රගත කරමින් ස්ථාපිත කරන්න නිටපා අප ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

අවසන් යුද සමයේදී ශ්‍රීලංකාවේ ආරක්ෂක හමුදාව විසින් සිදුකරන ලද මානව හිමිකම් කඩවීම් හා ජන සංහාර සම්බන්ධයෙන් සාක්ෂි අපමණ තිබියෙදී ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම අභියෝගයට ලක්කරමින් ශ්‍රිලංකා රජය කටයුතු කිරීම තුළින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කීර්තියට හානි වන බවද පෙන්වා දුන්නා.

අවසන් යුද්ධයේදී දහස් ගණනක් ජනතාව ඝාතනයට ලක්කරන අවස්ථාවේදී ඔවුනව ආරක්ෂා කරගැනීම සදහා කටයුතු නොකල ජාත්‍යන්තරය යුද්ධයෙන් පසු වගවීම හා යුක්තිය ශ්‍රීලංකා රජය විසින් ඉටුකරයි කියල විශ්වාස කිරිමෙන් අපගේ ජනතාව තව තවත් රැවටීමට ලක්වුනා.

වගවීම හා යුක්තිය සම්බන්ධයෙන් ශ්‍රීලංකා රජයට බලකරල 2015වසරේදී සම්මත කරගත් යෝජනාවට එක්සත් ජාතින්ගේ සංවිධානයත් ජාත්‍යන්තර රටවලුත් අනවශ්‍ය විදිහට එකගතාව පලකර සිටියා.නමුත් මේ යෝජනාව ශ්‍රීලංකා රජය ගතවූ අවුරුදු හතර පුරාම දූෂනයට ලක්කර තිබෙනවා.එකක් තමයි අතුරුදහන් වූවන් සෙවීම වෙනුවෙන් ස්ථාපිත කළ කාර්යාලය අකර්මන්‍ය විම.පෙරාතුවම එහි ක්‍රියාකාරීත්වය යුද අපරාධ වසං කරන ආකාරයටයි පැවතියේ.මේ නිසා තමයි අගතියට පත් ජනතාව අතුරුදහන් වූවන්ට යුක්තිය ඉටුකරන්න කියල බලකරල මේ විරෝධතා කරන්නේ.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කලේ නැහැ.අපගේ ඉඩම් තවමත් ආරක්ෂක හමුදාව බාරයේ.යුද්ධයෙන් පීඩාවට පත්වුන අප ජනතාවගේ නිවාස හෝ තවම හදල දීල නැහැ.මේ වැරදි සියල්ල අමතක කරමින් කටයුතු කරනවා.යුද්ධයේදී සිදුවුන මේ සිද්ධීන් ගැන විමර්ශන කිසිවක් අවශ්‍ය නැහැ කියල අගමැතිවරයා ප්‍රකාශ කරනවා.අගමැතිවරයාගේ මේ ප්‍රකාශයෙන් දෙමළ ජනතාවගේ සිත් කැලඹීමක් ඇතිවෙලා.ශ්‍රීලංකා රජය ගැන තිබුනු අවිශ්වාසය තවත් වැඩි වෙලා තිබෙනවා.

මෙනිසා ශ්‍රීලංකා රජයට ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කරනවා වෙනුවට යුද අපරාධ විමර්ශනය සිදුකිරීමට කිසිදු කාලයක් ලබා නොදිය යුතුයි.උතුරු නැගෙනහිර පළාත්වල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයක් පිහිටුවා ඒ සම්බන්ධයෙන් පියවරක් ගතයුතුයි යැයිද හිටපු මහ ඇමතිවරයා කීය.