කෝටි 2කට ආසන්න රත්තරන් සමඟ 9ක් රේගු දැලට පැටලෙයි

0
112

රුපියල් එක් කෝටි හැට තුන් ලක්ෂ හතලිස් හතරදහස් එකසිය හැත්තෑ නවයක් (16,344,179 ) ක් වටිනා ස්වර්ණාභරණ සහ රත්තරන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් නව දෙනෙකු ඊයේ (19) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

මොවුන් කොළඹ මරදාන , මීගමුව , සීදුව , හලාවත සහ මහනුවර යන ප්‍රදේශ වල පදිංචිකරුවෝ සඳහන්.

මෙම පිරිස ඊයේ රාත්‍රීයේ සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 303 දරන ගුවන් යානයෙන් සහ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණ.

ඔවුන් විසින් රැගෙන පැමිණ තිබූ ගමන් මලු වල මෙම කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 974 ක් බර අර්ධ වශයෙන් වැඩ නිම කළ ස්වර්ණාභරණ තොගයක් සහ රත්තරන් බිස්කට් තොගයක් සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.

මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ එම්.ඒ.කරුණාරත්න මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් විසින් සිදු කරමින් සිටිති.