කිරිපිටි ආනයනකරුවන් දැඩි තීරණයක

0
312

මිල වැඩිකිරීමට අවසර නොලැබුණොත් කිරිපිටි ගෙන්වීම නවතා දැමීමට ප්‍රධාන පෙළේ ආනයනකරුවන් පිරිසක් සාමූහික තීරණයක් ගෙන ඇතැයි වාර්තා වේ.

පවතින තත්ත්වය අනුව කිරිපිටි ආනයනය නවතා දැමීම හැර වෙනත් විකල්පයක් නැතැයි ඔවුහු පැවැසූහ.

කිරිපිටි ආනයන සමාගම් මේ වන විට මසකට රුපියල් මිලියන 30 සිට 40 දක්වා පාඩු ලබන බව එම සමාගම් කීපයක ප්‍රධානීහු පැවසූහ.

කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100කින් වැඩි කිරීමට අවසර දෙන තෙක් වරායෙන් කිරිපිටි තොග නිදහස් කර නොගන්නා බවටත් අලුතින් ඇණවුම් නොකරන බවටත් එම සමාගම් අනතුරු අඟවා ඇත.

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 184ක් දක්වා අවප්‍රමාණයවීම, තීරුබද්ද රුපියල් 15ක් වීම, සියයට 15 අගය එකතු කළ බද්ද, සියයට 7.5ක වරාය සහ ගුවන් තොටුපොළ සංවර්ධන බද්ද, කිලෝවකට පනවන ජාතිය ගොඩනැගීමේ බද්ද රුපියල් 135 සිට 170ක් දක්වා වැඩි කිරීම ආදී කරුණු හේතුවෙන් කිරිපිටි ආනයනය කිරීමේ වියදම වැඩි වී ඇත.

ඊට අමතරව ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල ගණන් ද ඉහළ ගොස් ඇත. මීට වසර කිහිපයකට පෙර කිරිපිටි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් ලෙස සලකා කිරිපිටි කිලෝවකට අය කරන ලද තීරු බද්ද රුපියල් 2ක් පමණක් විය.

ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මෙටි්‍රක් ටොන් එකක මිල ඩොලර් 3,250ත් 3,350ත් අතර වේ. එය ඩොලර් 3,400ත් 3,500ත් දක්වා ඉහළ යනු ඇතැයි පැවසේ.

මෙම තත්ත්වය මත ආනයන පිරිවැය පියවා ගැනීම සඳහා කිරිපිටි කිලෝවේ පැකට්ටුවක මිල රුපියල් 100කින් වැඩි කිරීමට අවසර දෙන්නැයි කිරිපිටි සමාගම් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් සහ ජීවන වියදම් කමිටුවෙන් ඉල්ලා ඇත.

කිරිපිටි මත පනවා තිබෙන පාලන මිල සහ එකතු කළ අගය මත බද්ද (වැට්) ඉවත් කිරීම මීට තිබෙන එකම විසඳුම යැයි එම සමාගම් පෙන්වා දී ඇත.