බ්‍රසීල අපරාධ කල්ලි ඇති කළ ප්‍රචණ්ඩක්‍රියා මැඬීමට භට පිරිස්

0
34

ඊසානදිග බ්‍රසීලයට අයත් නගරයක් වන ෆෝර්ටලීසා හි අපරාධ කල්ලි ඇති කළ ප්‍රචණ්ඩක්‍රියා සමග තත්ත්වය පාලනයට 300ක හමුදා බලඇණියක් ප්‍රදේශයේ ආරක්ෂාවට යෙදවීමට කටයුතු කර තිබේ.

ඒ අනුව, සියේරා ප්‍රාන්තය පුරා මුර සංචාර සඳහා හමුදා යොදවා ඇති අතර, බැංකු, බස් රථ සහ වෙළෙඳ සැල් වෙත සිදුකෙරෙන ප්‍රහාර නැවැත්වීමට කටයුතු කරමින් සිටින බව කියයි.

ගෙවීගිය සතිය තුළ මෙවැනි ප්‍රහාර වරින්වර වාර්තාවීමත් සමග මෙසේ අමතර ආරක්ෂාව යෙදවීමට එරට අධිකරණ අමාත්‍යාංශය විසින් නියෝග කර තිබේ.

ප්‍රදේශයේ වූ සිර ගෙවල් තුළ නීති දැඩි කිරීමට විරෝධය පෑමක් ලෙස මෙසේ ප්‍රචණ්ඩක්‍රියා උත්සන්න වී ඇති අතර, අපරාධ කල්ලි විසින් මෙම සිර ගෙවල් තුළ සිය බලය පතුරුවමින් සිටින බවද එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඒ අනුව, බලධාරීන් විසින් සිර මැදිරි තුළ ජංගම දුරකථන සන්නිවේදන තරංග ව්‍යාකූල කර ඇති අතර, අපරාධ කල්ලි සමග සබඳතා ඇති සිරකරුවන් වෙන් කිරීමද සිදුකර තිබේ.

බ්‍රසීලයේ උත්සන්න වී ඇති අපරාධ පිටුදැකීමේ අරමුණ පෙරදැරිව මෙවර බලයට පත් නව ජනපති ජෙයර් බොල්සොනාරෝ සිය ධුරයේ වැඩභාර ගැනීමෙන් දින කිහිපයකට පසුව මෙම ගැටුම් ඇතිවීමද විශේෂත්වයකි.