සජිත්ගේ නම විකුණා ඉඩම් අල්ලාගත් කාන්තාව අත්අඩංගුවට

0
116

ජනාධිපතිවරයාගේ සහ නිවාස හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ නියෝගයක් යැයි පවසමින් ජනතාව නොමඟ යවමින් දඹුල්ල කණ්ඩලම හන්දිය ප්‍රදේශයේ නාගරික සංවර්ධන අධිකාරියේ සතු ඉඩමට ඇතුළු වී ඉදිකිරීමක් සිදු කරමින් සිටි කාන්තාවක් සැකපිට පොලිස් භාරයට ගත් බව දඹුල්ල පොලිසිය පවසයි.

ඊයේ(02) පස්වරුවේ මෙසේ සැකපිට පොලිස් භාරයට ගත් කාන්තාව කන්තලේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වෙයි.

එම කාන්තාව තවත් පෙදරේරුවරු සමඟ දඹුල්ල කණ්ඩලම හන්දිය ප්‍රදේශයේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට සහ රජයට අයත් වටිනා ඉඩමක ඉදිකිරීම් ‍ද්‍රව්‍යය ගෙනත් දමා අත්තිවාරම් කපන බවට දඹුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ලැබුණු තොරතුරක් මත පොලීසියේ සහයෝගය ඇතිව එම ස්ථානයට ගිය බව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරියකු පැවැසීය.

මෙම කාන්තාව පොලිස් නිලධාරීන්ට ග්‍රාම නිලධාරීවරියට මෙන්ම එම ස්ථානයේ රැස්ව සිටි ජනතාවට ද දැඩිලෙස වාග් ප්‍රහාර එල්ල කරමින් පහර දෙන්නට ද උත්සාහ දැරූ බව පොලීසිය පවසයි.

මෙම කාන්තාව කියා සිටියේ රජයේ ඉඩම් අයත්වන්නේ ප්‍රාදේශීය ලේකම්වරයාට නොව අමාත්‍යවරුන්ට බවය.

දඹුල්ලේ මෙම ඉඩමේ නිවාස ඉදිකිරීම සඳහා යොදා ගන්නා ලෙස තමන්ට නිවාස හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් දැනුම් දුන් බව ඇය පොලීසියට එහිදී පවසා තිබෙන බව අප වාර්තාකරු පවසයි.

එහෙත් පොලීසිය දිගින් දිගටම ඇයට ඉදිකිරීම් කටයුතු සිදු නොකරන ලෙස අවවාද කර ඇති අතර එම අවවාද සමඟ ඇය පොලීසිය සහ රාජ්‍ය නිලධාරීන් සමඟ දැඩි වාග් ප්‍රහාර වලටද ඒමට පටන් ගෙන තිබේ.

දඹුල්ල පොලීසියේ රාජකාරියට ගිය පොලිස් නිලධාරීන්ට ඇය කියා සිටියේ ජනාධිපතිවරයාගේ නියෝගයක් මත තමන් මෙම ස්ථානයට පැමිණි බවයි.

පොලිස් නිලධාරීන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ඇය අභියෝගද කර ඇති බව අප වාර්තාකරු පවසයි.

පොලීසිය කියා සිටියේ ඇමතිවරුන් හෝ ජනාධිපතිවරයා ඉඩම් ලබා දුන් බව කියැවෙන ලියවිල්ලක් රාජ්‍ය නිලධාරීන්ට පෙන්වා ඉඩම් අත්පත්කර ගැනීම් ඉදිකිරීම් සිදුකිරීමට හැකියාව ඇති බවය.

කෙසේ වෙතත් පොලීසිය සහ රාජ්‍ය නිලධාරීන් පැය එක හමාරක පමණ කාලයක් එම ස්ථානයේ රැඳී සිටිමින් ඉදිකිරීම් කටයුතු වැළැක්වීමට පියවර ගත්හ.

මෙම කාන්තාව ඒ වනවිටත් නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය වැලි ගඩොල් ආදී රජයේ ඉඩමට ගෙනත් දමා තිබුණු බව පොලීසිය පවසයි.

ග්‍රාම නිලධාරීවරයාගේ සහ පොලීසියේ අණ නොතකා රජයේ ඉඩමකට ඇතුළුවී ඉදිකිරීම් සිදු කළ මෙන්ම ජනාධිපතිවරයාගේ සහ අමාත්‍යවරයාගේ නම භාවිතා කරමින් ජනතාව රාජ්‍ය නිලධාරීන් නොමඟ යවා රජයේ ඉඩම් අත්පත්කර ගැනීමට ගිය මෙම කාන්තාව දඹුල්ල පොලීසියේ භාරයට ගෙන තිබේ.

දඹුල්ල පොලීසියේ ප්‍රකාශකයෙකු කියා සිටියේ මෙම ඉඩම පිලිබඳවත් ග්‍රාම නිලධාරීවරයාගේ ප්‍රකාශ සහ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරි නීතිමය පියවර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවය.