මේ යන විදියට මන්ත්‍රීවරයෙක් මැරෙන්න වුනත් පුළුවන්

0
189

වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිදුවන දේවල් අනුව ඉදිරි කාලය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එක්කෙනෙක් දෙන්නෙක් මැරෙන්නට වුනත් ඉඩකට තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙම තත්ත්වය නිර්මාණය කළේ කථානායකවරයා බවද අමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කළේය.

එවැනි සිදුවීමක් සිදු වුවහොත් එහි වගකීම අනිවාර්යයෙන්ම කථානායකවරයා බාරගත යුතු බවද අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (17) අගුනකොළපැලැස්ස ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගි වෙමින්ය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන බල මණ්ඩල අමාත්‍යරයාගේ නිවසට රැස්වී ඉදිරි මහමැතිවරණයක දී ජයග්‍රහණය සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර තිබේ.

කැබිනට් මණ්ඩලය හෝ අග්‍රාමාත්‍යරයා පත් කිරීම හෝ ආණ්ඩුවක් විසුරුවා හැරීමට හෝ බලතල කථානායකවරයාට නොමැති බවත් එම බලතල ඇත්තේ ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට පමනක් බවත් අමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කළේය.

කථානායකවරයා කියන්නේ නිර්පාක්ෂික මධ්‍යස්ථ පුද්ගලයෙක් වන අතර ඔහුට ජනාධිපතිවරයෙක් කියන හෝ කරන දෙය විනිශ්චය කළ නොහැකි බවද අමාත්‍යවරයා පවසයි.

කථානායකවරයා කුමන පක්ෂයකින් පත්වුවත් ඔහු එම තනතුරට පත්වුවාට පසු මධ්‍යස්ථව කටයුතු කළ යුතු වුවත් කථානායකවරයා මේ වන විට කටයුතු කරන්නේ තමන්ගේ බලතලවලට එහා ගොස් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.