ක්‍රිකට් කළමණාකරු තනතුරෙන් ඉවතට

0
234

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ. වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු ලෙස ජෙරී වවුටර්ස් මහතා පත් කිරීමට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

නවසීලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු තනතුරෙන් චරිත් සේනානායක මහතා ඉවත් කර තිබේ. එසේ ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගෙන් හේතු විමසීමේදී සේනානායක මහතාට දන්වා ඇත්තේ සේනානායක මහතා සමග කටයුතු කිරීම අසීරු යයි කණ්ඩායමේ සහාය කාර්ය මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පැමිණිලි කරන බවයි.

“ඉතින් මාත් එක්ක වැඩ කරන්න අපහසු නම්, මම ඉන්න එක කණ්ඩායමේ දස්කම් වලට බාධාවක් නම්, මම තවදුරටත් කණ්ඩායමේ ඉන්නේ මොකටද ? මම ඉල්ලා අස්වීමේ ලියුම දුන්නා” යයි චරිත් සේනානායක මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ හිටපු ආරම්භක පිතිකරුවකු වන චරිත් සේනානායක මහතා දකුණු අප්‍රිකානු සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු තනතුරුට පත් වූයේ එතෙක් එම තනතුර හෙබවූ අසංක ගුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තනතුරට පත්වීමත් සමගිනි.

ඉකුත් සිකුරාදා ගාල්ලේදී (පළමු ටෙස්ට් තරගය නිමා වීමෙන් අනතුරුව) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව සේනානායක මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බාරදී තිබේ.

වසර 2016 දී දකුණු අප්‍රිකානු සංචාරයට පෙරදීත් චරිත් සේනානායක මහතා කණ්ඩායමෙන් ඉවත් කරන ලදි. එහෙත් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු තනතුර හෙබවූ අසංක ගුරුසිංහ මහතාගේ සේවය අවසන් කරමින් චරිත් සේනානායක මහතා නැවතත් ශ්‍රී ලංකා පිලට කැඳවන ලදි.