වසර 30කට පසු පොලිස්පතිවරයෙකු ගැන පරීක්ෂණයක්

0
152

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළද ඒ පිළිබඳ තමා කතා නොකරන බවත්, එහෙත් වසර 30කට පසු පොලිස්පතිවරයෙකු සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් පැවැත්වෙන බවද නීතිය, සාමය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.

පොලිස්පතිවරයාට එල්ල වී තිබෙන චෝදනාව සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් පත්කර සොයාබැලීම සිදු කරන බවත්, මීට අමතරව අල්ලස් කොමිසම තුළ පරීක්ෂණයක් පැවැත්වෙන බවත් ඔහු පවසා සිටියේය.

පොලීසිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් දෙකක් ඉදිරිපත් වුවද පොලීසිය සම්බන්ධයෙන් වූ ජනතා විශ්වාසය කඩනොවන බවත්, පොලිස් නිලධාරීන්ට චෝදනා එල්ල වූ පසු ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන බවත් ඒ මහතා කියා සිටියේය.

ඊයේ (04දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය ආණ්ඩු සමයේ යම් යම් උසස් පොලිස් නිලධාරීන් විවිධ දේවල්වලට සම්බන්ධ වූ බවත්, එහෙත් ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමක් සිදු නොවූ බවත් ඔහු කියා සිටියේය.

පොලිස්පතිවරයාට චෙක්පතක් ලබාගැනීම පිළිබඳ චෝදනා එල්ල වුවද එය සිදුව තිබෙන්නේ 2008 වසරේදී බවත්, එහෙත් මෙතෙක් කලක් පරීක්ෂණයක් පැවැත්වී නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.

අනිවාර්ය නිවාඩු යැවූ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කටහඬ පරීක්ෂණ වාර්තා ඉදිරි දින තුළ ලැබීමට නියමිතව තිබෙන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here