මීළඟ රජයේ පාලකයා අගමැතිවරයායි

0
151

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය යටතේ විධායක ජනාධිපති ධුරයේ බොහෝ බලතල අඩුකර ඇති නිසා මිළඟ රජයක පාලකයා වන්නේ අගමැතිවරයා බැවින් සියලුදෙනා අවධානය යොමුකළ යුත්තේ දුෂණය, වංචාව, හොරකම නැති අයෙකු අගමැතිවරයා ලෙස බලයට පත්කර ගැනීම සඳහා යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිවිතිගලදී පැවැසීය.

නියමිත කාලයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු පවා විවිධ අදහස් පලකරන බව කී ජනපතිවරයා, එහෙත් ඒ තීරණය කළයුත්තේ තමා බවද කීය.කෙසේවෙතත් නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් නොපවත්වන බවද හෙතෙම කීය.

පසුගියදා කොළඹ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) උද්ඝෝෂණය ගැන සඳහන් කළ ජනාධිපතිවරයා කියාසිටියේ පොහොට්ටුවේ අය එය සාර්ථක බව පවසන නමුත්, එජාපය පවසන්නේ එය අසාර්ථක වූ බවයි.

මොවුන් දෙපිරිසම අධිතක්සේරුවකින් කටයුතු කරන බව කී ජනපතිවරයා මී ළඟ මහ මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටුවීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන සාධකයක් වන බවද කීය. ඒ සඳහා උදාහරණ දැක්වූ ජනපතිවරයා කියාසිටියේ පෙබරවාරි 10වනදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව එම පක්ෂයට මහ මැතිවරණයකදී ලබාගත හැකිවන්නේ ආසන 102ක් බවය. එම මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද ලක්ෂ 15ක් ලබාගත් බවද, එය මේ වනවිට ලක්ෂ 20 දක්වා වැඩිකරගෙන ඇතැයිද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළකලේ නිවිතිගල මහජන පොළ භූමියේ පෙරවරුවේ පැවැති ශ්‍රීලනිප තරුණ බල මණ්ඩලයේ රැස්වීම අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here