මාධ්‍යවේදීන් 2 නා නිදහස් කරන්න – මානව හිමිකම් කොමසාරිස්වරිය මියන්මාරයෙන් ඉල්ලයි

0
274

සිරදඬුවමට ලක්වූ රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනා නිදහස් කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ ඊයේ (3) මියන්මාරයෙන් ඉල්ලීමක් කළාය.

රාජ්‍ය රහස් ළඟ තබා ගැනීම යන චෝදනාවට වැරැදිකරුවන් කරමින් රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනාට වසර හතක සිර දඬුවමක් නියම කිරීමට මියන්මාර විනිසුරුවරයෙක් ඊයේ (3) කටයුතු කළේය.

සිර දඬුවමට ලක්වූ රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනා ද ඇතුළුව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස භාවිත කිරීම නිසා රඳවා ගෙන සිටින සියලු මාධ්‍යවේදීන් නිදහස් කරන්නැයි ද මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

“මාධ්‍යවේදීන් දෙදෙනා වරදකරුවන් කිරීමට අනුගමනය කරන ලද නෛතික ක්‍රියාවලිය පැහැදිලිවම ජාත්‍යන්තර සම්මුති කඩ කර තිබෙනවා. කිසිදු බියක් නොමැතිව තම රාජකාරීයේ යෙදීමට නොහැකි බවට මේ නඩු තීන්දුව මගින් මියන්මාරයේ මාධ්‍යවේදීන්ට පණිවුඩයක් ලබා දී තිබෙනවා. ඔවුන් එක්කෝ ස්වයං වාරණයක් පනවා ගත යුතුයි. එසේ නැතිනම් දඬුවම් විඳීමේ අවදානම යටතේ රාජකාරී කළ යුතුයි.”