ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලංකාවට

0
180

ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ මහතා නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

ඊයේ (28) රාත්‍රී 10.15ට බැංකොක් නුවර සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් ඔහු ඇතුළු නියෝජිත පිරිස දිවයිනට පැමිණි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා ඇතුළු පිරිසක් විසින් ගුවන්තොටුපල පරිශ්‍රයේදී එම පිරිස පිළිගෙන ඇත.

දෙරට අතර පවතින ද්විපාර්ශවික සබඳතා තවදුරටත් වර්ධනය කිරිම ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණ බව ශ්‍රී ලංකාවේ පිහිටි ජපාන තානාපති කාර්යාලය සඳහන් කළේය.

ජපාන රජයේ ආධාර යටතේ ශ්‍රී ලංකාවට නාවික මුර යාත්‍රා දෙකක් පිරිනැමීම මෙම සංචාරය තුළදී සිදු කිරිමට නියමිතයි.

නාවික මුර යාත්‍රාවන් ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට පැවරීම මගින් ශ්‍රී ලංකාවේ සමුද්‍රිය ආරක්ෂාව වර්ධනය සහ සමුද්‍රිය සීමාවන්හි පාලනය ශක්තිමත් කර ගැනිමට උපයෝගී වනු ඇති බව ජපාන තානාපති කාර්යාලය සදහන් කළේය.

ජපාන රාජ්‍ය අමාත්‍ය නකානේ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ඉහල පෙලේ නියෝජිතයින් හමුවිමට ද නියමිතයි.

පසුගිය සතියේ ජපාන ආරක්ෂක අමාත්‍යවරයා ද මෙරට සංචාරයක නිරත විය.

මේ අතර ඇමෙරිකාව විසින් ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත ලබාගත් අමෙරිකානු වෙරළාරක්ෂක ෂර්මන් නෞකාව නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා වෙත හවායි දූපතේදී නිල වශයෙන් භාරදී තිබේ.

මීටර් 115ක දිගින් යුත් එම නෞකාව මෙරට නාවික හමුදාව භාවිත කරන විශාලතම නෞකාව වනු ඇති අතර එය දින 40ක පුහුණු වැඩසටහනකින් පසු ලබන අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවට සේන්දුවිමට නියමිතයි.