සුව වූ කොවිඩ් -19 රෝගීන් ගණන 1500ට ආසන්න වෙයි

0
17

මෙරට පූර්ණ සුවය ලැබූ කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 1500ට ආසන්න වී තිබේ.

අද (21) දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් රෝගීන් 26 දෙනෙකු පූර්ණ සුවය ලැබීමත් සමග පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 1498ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඒ අනුව රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 441ක් වේ.

මේ අතර මේ වන විට සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් වෛද්‍ය අධීක්ෂණයේ පසුවන රෝගීන් සංඛ්‍යාව ද 25ක් දක්වා අඩු වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඊයේ දිනයේ දී මෙරටින් කිසිඳු නව ආසාදිතයෙකු හඳුනා නොගත් අතර අද දිනයේ ගත වූ කාලය තුළ ද කිසිදු නව ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව වාර්තා වෙයි.

මේ අතර ඔස්ට්‍රේලියාවේ සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 50 දෙනෙකු අද දහවල් දිවයිනට පැමිණි තිබුණි.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවු ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද දහවල් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි බවයි අප වාර්තාකරු පැවසීය.

සිඩ්නි ගුවන්තොටුපලේ සිට පැමිණි මෙම පිරිසෙන් බහුතරය උසස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටි සිසුන් බව සඳහන්ය.

ඔවුන් සියලුදෙනා ගුවන්තොටුපලේ දී පී.සී.ආර්.පරීක්ෂණය සදහා යොමුකිරීමට පියවර ගෙන ඇත.

මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් අප්‍රිකානු රටවල සිටි පළමු ශ්‍රී ලාංකිකයින් 289 කු සහ මාලදිවයිනේ සිට ශ්‍රී ලාංකිකයින් 255කු අද දිනයේ දිවයිනට පැමිණි තිබුණි.