ගෙවුණු පැය 24 දී ඉන්දියාවෙන් ආසාදිතයන් 10000ක්

0
21

ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන පළමු වතාවට ඊයේ (12) 10000 ඉක්මවා ගියේය.

ඒ අනුව ඉන්දියාවෙන් ඊයේ (12) පස්වරු 5න් අවසන් වූ පැය 24ක කාලයේදී වාර්තා වූ නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන 10,956ක් වූ අතර එය දිනක් ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන්ගේ ගණන ද විය.

ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 2,97,535කි.

ඉන්දියාව ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් වාර්තා වන රටවල් අතර සිවුවැනි තැනට පත්ව ඇති අතර එක්සත් රාජධානිය ද පසු කර ගොස් ඇත.

ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන 1,41,842ක් වන අතර වයිරසය ආසාදනය වී සුව වූ ගණන 1,47,195කි. ඉන්දියාවෙන් අද පස්වරුවෙන් අවසන් වූ පැය 24 ක කාලයේදී කොරෝනා ආසාදිත මරණ 396ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 8,498ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තය යි. එම ප්‍රාන්තයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 97,648ක් වන අතර තමිල්නාඩුවෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 38,716කි. දිල්ලියෙන් ආසාදිතයන් 34,687ක් ද ගුජරාට් ප්‍රාන්තයෙන් ආසාදිතයන් 22,032ක් වාර්තා වේ.

දකුණු ආසියාවේ දෙවැනියට වැඩිම බලපෑමක් එල්ල වූ රට බවට පත්ව ඇත්තේ පාකිස්තානයයි. පාකිස්තානයෙන් අද පස්වරු වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,25,933ක් ලෙස දැක්වුණු අතර බංග්ලාදේශයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 78,052කි.