ලොව දෙවැනියට වැඩිම කොවිඩ් ආසාදිතයන් ගණන බ්‍රසීලයෙන්

0
26

ලොව දෙවැනියට වැඩිම කොවිඩ් ආසාදිතයන් ගණන සහිත රට බවට බ්‍රසීලය මේ වන විට පත්ව තිබේ.

මේ අතර ලොව සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂ 54 ඉක්මවා ඇති අතර සිදුව ඇති මරණ ගණන තුන් ලක්ෂ හතලිස් හතර දහස් හාරසිය විසි දෙකක්.
බ්‍රසීලය , ලොව කොවිඩ් ආසාදිතයින් වැඩිම රාජ්‍යයන් ලැයිස්තුවේ දෙවැනි තැනට ඊයේ පත්වූයේ එරට ආසාදිතයින් ගණන 349,113 ක් බවට පත්වීමත් සමගින්.

අද වනවිට බ්‍රසීලයෙන් වාර්තාවන කොවිඩ් මරණ ගණන 22,165 ක්.

බ්‍රසීලය ලොව වැඩිම ආසාදිත ලැයිස්තුවේ දෙවැනි තැනට පත් වූයේ එම ස්ථානයේ සිට රුසියාව තෙවැනි තැනට පත් කරමින්.

කොවිඩ් ආසාදිතයන් වැඩිම රට වන අමෙරිකාවෙන් අද වන විට ආසාදිතයන් 1,666,828 ක් , රුසියාවෙන් 344,481 ක් , ස්පාඤ්ඤයෙන් 282,370 ක් , එක්සත් රාජධානියෙන් 257,154 ක් , ඉතාලියෙන් 229,327 ක් හා ප්‍රංශයෙන් ආසාදිතයින් 182,469 ක් හඳුනාගෙන තිබේ.

මේ අතර අමෙරිකාවේ නිව්යොර්ක් නුවර දෛනික කොවිඩ් මරණ ගණන 84 දක්වා පහළ ගොස් තිබේ.

ඒ බව නිවේදනය කළ ආණ්ඩුකාර ඇන්ඩෘ කුමෝ පෙන්වාදුන්නේ, මෙවන් සුබදායී දිනයක් පැමිණෙන තුරු තමන් සිහින දකිමින් සිටි බවයි.

කොවිඩ් ව්‍යාප්තිය ආරම්භ වූ මාර්තු මාසයෙන් පසු මෙවන් පහළ අගයක් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.

අමෙරිකාවේ මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 98,683 ක්.

මේ අතර කොවිඩ් වංසගතය පවතින පසුබිමක වුවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගොල්ෆ් ක්‍රීඩාවේ නිරත වන අයුරු ඊයේ දක්නට ලැබුණි.

මේ අතර කොවිඩ් හේතුවෙන් පීඩාවට පත්වූ ස්පාඤ්ඤයේ මැඩ්‍රිඩ් නුවර විරෝධතාවක් ආරම්භ වී තිබේ.

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ස්පාඤ්ඤ රජය ක්‍රියාකළ ආකාරයට විරෝධය පළකිරීම සදහා මෙම අවස්ථාවට දහස් සංඛ්‍යාත පිරිසක් සිය මොටර් රථවලින් පැමිණ එක්ව සිටියි.

ඔවුන් පවසන්නේ අගමැති පෙඩ්‍රෝ සැන්චේස් ඉල්ලා අස්විය යුතු බවයි.

ස්පාඤ්ඤයේ කොවිඩ් මරණ 28,678ක් වාර්තා වී තිබේ.

පසුගිය මාර්තු මස 14 වැනිදා සිට ස්පාඤ්ඤය මුළුමනින්ම වසාදැමුණු නමුත් අදවනවිට බොහෝ සංචරණ සීමා ලිහිල්කර තිබේ.

එමෙන්ම ලබන ජූලි මාසයේ සිට රට සංචාරකයින් සදහා ද විවෘත කිරීම ස්පාඤ්ඤ රජයේ අපේක්ෂාවයි.

මේ අතර රුසියාවේ මොස්කව් අගනුවර මිලියන 1.5ක ජනතාවකගේ සිරුරේ කොවිඩ් ප්‍රතිදේහ පවතින බව නගරයේ සෞඛ්‍ය බලධාරීන් පවසයි.

ඒ බව හදුනාගෙන ඇත්තේ නගරවැසියන් 50,000 ක් යොදාගෙන ගතවූ සතියේදී කළ පරීක්ෂණයක් අතරතුරදීයි.

රුසියාවේ කොවිඩ් මරණ ගණන 3,388 ක්.

කොවිඩ් වසංගතය හේතුවෙන් සෞදියේ මක්කම දේවස්ථානයේ රාමසාන් දේව මෙහෙය ඉතාමත් සීමිත පිරිසක් සදහා දේව මෙහෙය පැවැත්වුණේ මෙලෙසින්.

ආසාදිතයින් එක්ලක්ෂ තිස් එක්දහසකට වැඩි ප්‍රමාණයක් හමුව ඇති ඉන්දියාවෙන් වාර්තාවන සමස්ත මරණ ගණන 3,868 ක්.

ඊයේ දිනයේදී ආසාදිතයින් 6,767ක් වාර්තා වී ඇති අතර එරටින් දිනක හදුනාගත් වැඩිම ආසාදිතයින් ගණනද එයයි.

ගතවූ පැය 24දී එහි සිදුවූ මරණ ගණන 147ක්.

මේ අතර නිවාස බලා යන 36 ලක්ෂයක් පමණ වන සංක්‍රමණික සේවකයන් ඉන්දීය රජයට මහත් හිසරදයක්ව තිබේ.

මෙසේ නිවාස බලා යමින් සිටින සංක්‍රමණිකයින් සදහා දුම්රිය සේවා 2,600ක් යෙදවීමට ඉන්දීය රජය පියවර ගත්තේය.

මේ අතර නවදිල්ලි නුවර දුම්රියපොළක ගබඩාකර තිබූ ආහාර සහ වතුර තොගයක් සංක්‍රමණික සේවකයන් පිරිසක් එක්ව, කොල්ලකෑමේ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේය.

කොවිඩ් වෛරසය පැතිරීම ඇරඹී චීනය මේ වන විට වැඩිම කොවිඩ් ආසාදිතයන් ලැයිස්තුවේ 14 වන ස්ථානයේ පසුවන අතර ගෙවුණු පැය 24 තුළ එරටින් හඳුනාගෙන ඇත්තේ ආසාදිතයන් තිදෙනකු පමණයි.

මේ අතර අප්‍රිකානු කලාපයේ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂය ඉක්මවා ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

වෛරසය, කලාපයේ සෑම රටකම පැතිරගොස් ඇති අතර ඉන් සිදුව ඇති සමස්ත කලාපීය මරණ ගණන 3,100ක්.