මහ මැතිවරණය පැවැත්වී සහ පාර්ලිමේන්තුව විසුරුවීම සම්බන්ධ ගැසට් පත්‍රවලට එරෙහි පෙත්සම් සඳහා අදත් කරුණු විමසයි

0
13

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර ඇති ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම පිළිබඳ වැඩිදුර කරුණු විමසීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පස්වන දිනටත් අද (22) සිදු කිරිමට නියමිතව තිබේ.

අද පෙරවරු 10 .00ට පෙත්සම් වල වැඩිදුර කරුණු විමසීම ආරම්භ කිරිමට නියමිතයි.

පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (210 පෙත්සම් සිව්වන දිනටත් සලකා බැලුවේය.

මෙහිදි ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසුවේ මැතිවරණ කොමිසම සිය බලය භාවිත කර මැතිවරණ දිනය වෙනස් කළ පමණින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවාහැරි මුල් ගැසට් නිවේදනයද අවලංගු වන බව පැවසීම කිසිසේත්ම නෛතිකව පිළිගත නොහැකි බවයි.

පාර්ලිමේන්තුවක ධුර කාලය අවසන් වීම සඳහා ක්‍රම දෙකක් ව්‍යවස්ථාවේ සඳහන් වන අතර නියමිත වසර 05ක කාලය ඉක්මවා යාම මෙන්ම ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හරහාද පාර්ලිමේන්තුවේ කාලය ව්‍යවස්ථානුකූලව අවසන් වනබව ඔහු කියා සිටියේය.

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා නියමකළ දින වෙනස් වීම යන සාධකය මත පැරණි පාර්ලිමේන්තුව යලි බලාත්මක වීම කිසිලෙසකින්වත් සිදු නොවන බව ද ජනාධිපති නීතීඥවරයා මෙහිදි ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ ක්‍රමවේදය සඳහන් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 101 වන වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසින්ම සම්පාදනය කර ඇති මහමැතිවරණ පනතේ වන බවයි.

ඒ අනුව මහමැතිවරණය පැවැත්වීමට අදාළ නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේසිට මහමැතිවරණය පැවැත්වීමේ පනතට ගලා එන බව පෙන්වා දුන් ජනාධිපති නීතීඥවරයා එහිසඳහන් ප්‍රතිපාදනවලවලට අනුව ජනාධිපතිවරයා පැවසූ දිනයට මැතිවරණ කොමිසමට ඡන්දය පැවත්වීමට නොහැකි වාතාවරණයක් උද්ගතව ඇත්නම් ඡන්ද දිනය වෙනස් කිරීම සඳහා කොමිසමට බලතල පැවරී ඇති බව පෙන්වා දුන්නේය.

කොමිසම විසින් මැතිවරණ දිනය වෙනස් කිරීමේදී මහ මැතිවරණපනතේ 24(3) වගන්තියට අනුව ඡන්දය කල්දැමියහැකි කිසිදු උපරිම කාලසීමාවක් සඳහන් කර නොමැති බවද ජනාධිපති නීතීඥවරයා පැවසුවේය.

පෙත්සම්කරුවන් ලෙස අධිකරණයට පැමිණ සිටින පාර්ශ්ව පිළිබඳඅවධානය යොමු කිරීමේදී අලියා ලකුණින් මහමැතිවරණයට නාමයෝජනා භාරදුන් පාර්ශ්වය හෝ , ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන දේශපාලන පක්ෂ ජනාධිපතිවරයාගේ ගැසට්නිවේදනය අභියෝගයට ලක්කර නොමැති බවද රොමේෂ් ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ.

ඔහු පෙන්වා දුන්නේ ජාතික සමගි ජනබලවේගය නමින් නාම යෝජනාභාරදී ඇති පාර්ශ්වය පමණක් පෙත්සම් ගොනුකරමින් අධිකරණයට පැමිණ ඇති බවයි.

පෙත්සම්කරුවෙක් ලෙස අධිකරණයට පැමිණ සිටින රංජිත් මද්දුමබණ්ඩාර මහතා සමගි ජනබලවේගයේ මහලේකම්වරයා ලෙස එහි සියලු නාමයෝජනා පත්‍රඅත්සන් තැබීම හරහා ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනයේ නීත්‍යානූකූලභාවය පිළිගෙන කටයුතුකර ඇති බවද රොමේෂ් ද සිල්වා මහතා පැවසීය.

පවතින තත්වය පාලනයට නව නීතී සම්පාදනය අනවශ්‍ය යැයි ජනාධිපතිවරයා තීරණය කරඇති පසුබිමක නීතී සම්පාදන බලය හිමි පාර්ලිමේන්තුව යළි කැඳවන්නේ කුමන හේතුවක් නිසාදැයි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා මෙහිදි ප්‍රශ්න කර තිබේ.

පවතින නීතී භාවිත කරමින් අති සාර්ථක ලෙස කොවිඩ් 19 වෛරසය පාලනය කළ හැකි බව ජනාධිපතිවරයා ක්‍රියාවෙන්ම පෙන්වා ඇති අතර ඒ සඳහා ඇගයීමක් කරනවා වෙනුවට රට අර්බුදයකට ගෙනගිය බවට පෙත්සම්කරුවන් ජනාධිපතිවරයාට චෝදනා කිරීම විශ්වාසකළ නොහැකි බව ජනාධිපති නීතීඥවරයා පවසා ඇත්තේ.