ප්‍රාදේශීය පාලන ව්‍යුහය තුළ සිටින සියලු මාණ්ඩලික නොවන නිලධාරීන්ටත් පන්දහසේ දීමනාව

0
59

ග්‍රාම නිලධාරීන්,සංවර්ධන නිලධාරීන් සහ ප්‍රාදේශීය පාලන ව්‍යුහය තුළ සිටින සියලු මාණ්ඩලික. නොවන නිලධාරීන්ටද රුපියල් පන්දහසේ දීමනාව ලබා දීම සඳහා කැබිනට් පත්‍රිකාවක් අද (29) ඉදිරිපත් කරන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ දඹුල්ලේදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර වෛරස ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් දින ගණනක් තිස්සේ වසා තැබුණු පිටකොටුව මැනිං වෙළෙඳපොළ හෙට තොග වෙළෙඳාම් සඳහා යළි විවෘත කෙරෙයි.

වෛරස ව්‍යාප්තවීමේ අවදානම නිසා පසුගිය 17 වැනිදා වසා දැමුණු පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණය හෙට යළි විවෘත කරයි.

ගොවීන්ගේ සහ වෙළෙන්දන්ගේ දැඩි ඉල්ලීම මත එය විවෘත කෙරෙන්නේ තොග වෙළෙඳාම් සඳහා පමණයි.

ඒ අනුව ඊයේ පෙරවරුවේ එම වෙළෙඳ සංකීර්ණය විෂබීජහරණයට ලක්කෙරුණි.

ඒ සඳහා භාවිත කෙරුණේ ආරක්ෂක අමාත්‍යාංශයේ තාක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානය විසින් නිර්මාණය කෙරුණු නව උපකරණයක්.

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හමුවේ පමා කර තිබූ බිළිඳු ප්‍රතිශක්තිකරණ එන්නත් කිරීමේ සායන යළි ආරම්භ කර තිබේ.

මේ අතර රාජ්‍ය ආයතන සහ තවත් පොදු ස්ථාන රැසක්ම ඊයේ විෂබීජහරයට ලක් කෙරුණි.

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ නවීකරණය කෙරුණු දැඩි සත්කාර ඒකකය හා නව අණුක ජීව රසායනාගාරය ඊයේ විවෘත කෙරුණි.

ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර රුපියල් පන්දහසේ දීමනාව ලබා දීමේ වැඩසටහන් අතරතුර ඇතිවූ නොසන්සුන්තා පිළිබඳ ප්‍රදේශ කිහිපයකින් වාර්තා විය.

දීමනාව ලබාගැනීම සඳහා ග්‍රාම නිලධාරී කාර්යාලය වෙත රැස්වූ පානදුර බටහිර මානමල්ල කොට්ඨාසයේ ජනතාව චෝදනා කළේ මෙම වැඩපිළිවෙළ දේශපාලනීකරණය වී ඇති බවයි.

මේ අතර ප්‍රාදේශීය දේශපාලනඥයෙකුගේ බලපෑම් නිසා තමන්ට රුපියල් පන්දහසේ දීමනාම අහිමිව ඇති බවට හිඟුරක්ගොඩ උල්කටුපොත ග්‍රාමසේවා වසමේ පිරිසක් චෝදනා කරයි.

එම ග්‍රාමසේවා වසමේ 98 දෙනෙකුට දීමනාව ලැබී නොමැති අතර හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම්වරියා ඒ පිළිබඳ ප්‍රතිචාර දැක්විය.

රුපියල් පන්දහසේ දීමනා අයදුම්පත්‍රය මුදලට අලෙවි කළ බවට කඳාන ආඬියාකන්ද ප්‍රදේශයෙන් ඊයේ වාර්තා වූ සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

කාන්තාවක් රුපියල් 20ක මුදලට එම අයදුම්පත් අලෙවිකළ බවට එල්ලවන චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍ය රට හමුවේ අනාවරණ කළේය.

එමෙන්ම පොහොර ලබා ගැනීමට නොහැකිව බිබිල ප්‍රදේශයේ ගොවි ජනතාව අපහසුතාවට පත් විය.

යුද හමුදාව හරහා දිවයින පුරා පොහොර බෙදා හැරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුවද තමන් පොහොර නොමැතිව දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බව ඔවුන් පවසයි.

මේ අතර නිසි සෞඛ්‍යාරාක්ෂිත පහසුකම් නොමැති බව පවසමින් දක්ෂිණ අධිවේගි මාර්ගයේ මුදල් අයකැමියන් රැසක් ඊයේ සේවයෙන් ඉවත් වී තිබේ.

අධිවේගයේ රථවාහන පිළිබඳ වාර්තා කරගැනීම් පොලිසිය විසින් සිදු කෙරුණි.

එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලු අධිකරණ මැයි 10 වැනිදා තෙක් වසා තබන ලෙස කුරුණෑගල නීතිඥ සංගමය රජයෙන් ඉල්ලිමක් කරයි.

මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල දුම්රිය ධාවනයේ කිසිදු ක්‍රමවත් බවක් නැතැයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය චෝදනා කරයි.

දැනට රජය සතුව පවතින වගා නොකල ඉඩම් තරුණ ගොවි ජනතාවට බදු ක්‍රමයට ලබා දීමටත් කාබනික පොහොර භාවිතය වැඩි කිරීම අරමුණු කරගෙන මෙරට තිබෙන සම්පත් උපරිම ප්‍රයෝජනයට ලක් කිරීමටත් කටයුතු කර ඇති බව මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

දැනට ආරම්භ කර ඇති සෞභාග්‍යා ජාතික ආහාර නිශ්පාදන වැඩසටහයේ සමාලෝචනසාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කළේය.

ඊයේ පෙරවරුවේ අරලියගහමන්දිරයේදී පැවැති එම සාකච්ඡාවට සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් පළාත් ලේකම්වරුන් පළාත් කෘෂිකර්ම ලේකම්වරුන් ඇතුලු පාර්ශ්වය රැසක් එක්ව සිටියේය.

ගම්පහ දොම්පෙ දෙමළගම ග්‍රාමසේවා වසමේ ජනතාවට රුපියල් පන්දහසේ දීමනාව විධිමත්ව ලබානොදෙන බවට චෝදනා කරමින් ඊයේ එම ජනතාව ග්‍රාම නිලධාරී කාර්යාලය අසලට රැස්ව තිබුණි.

මේ අතර කොවිඩ් නයින්ටීන් මැඩපැවැත්වීමේ මෙහෙයුම ක්‍රියාත්මක කාලය පුරා නාවික හමුදාවට අවශ්‍ය වන පෞද්ගලික ආරක්ෂණ කට්ටල නාවික හමුදා සාමාජිකයන්ට ප්‍රදානය කිරීමට දෙරණ මාධ්‍ය ජාලය සහ මනුසත් දෙරණ එක්ව පියවර ගෙන තිබේ.

දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා විසින් නාවික හමුදාපතිවරයා වෙත එහි පළමු තොගය සංකේතාත්මකව ප්‍රදානය කිරීම ඊයේ සිදු කෙරුණි.