සමස්ත ගෝලීය ආසාදිතයන්ගේ තුනෙන් එකක් අමෙරිකාවේ

0
76

කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් ලොවපුරා සිදුවූ මරණ ගණන ඊයේ (17) රාත්‍රියේදී එක්ලක්ෂ පනස් හතරදහස් දෙසිය හතලිස් පහ දක්වා ඉහළ ගොස් ඇත.

චීනයෙන් ආරම්භ වී ගෝලීය වසංගතයක් දක්වා වර්ධනය වූ කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියේ වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ අමෙරිකාවයි.

ඊයේ දිනය වනවිට එරටින් ආසාදිතයින් හත්ලක්ෂ නවදහස් හත්සිය තිස්පහක් වාර්තා වූ අතර එය දැක්වුණේ සමස්ත ගෝලීය ආසාදිතයන්ගේ තුනෙන් එකක් ලෙසින්.

එරටින් ඊයේ දිනයේදීත් මරණ 2,500 ඉක්මවා වාර්තාවුණේ එරට සමස්ත මරණ ගණන 37,154ක් තරම් වූ ඉහළ අගයක් සටහන් වෙද්දීයි.

මේ අතර කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය අමෙරිකාව තුළ අධි තක්සේරුවකට ලක්වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ, අමෙරිකාවේ සමස්ත මරණ ගණන 70 000 නොඉක්මවනු ඇති බවයි.

එමෙන්ම ඕපන් අප් අමෙරිකා අගේන් වැඩසටහන යටතේ, අකර්මණ්‍යව ඇති ප්‍රාන්ත ක්‍රමයෙන් යළි විවෘත කරමින්, ජනතාවට කඩිනම් ‘විමුක්තියක්’ ලබාදීම සිය අපේක්ෂාව බවද ජනාධිපතිවරයා පැවසීය.

එමෙන්ම එරට මිචිගන්, ඔහියෝ, උතුරු කැරොලයිනා, මිනසොටා, උටාහ්, වර්ජිනියා සහ කෙන්ටකි ප්‍රාන්ත නැවත විවෘත කරන්නැයි ඇතැම් පුද්ගලයින් ක්‍රියාත්මක කරන විරෝධතා අනුමත කිරීමටත් ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කර තිබුණි.