කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 81කට සුවය

0
13

නව කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව අද වන විට 1,873 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ,ගතවූ පැය 24ක කාලය තුළ මරණ 98ක් අලුතින් වාර්තා වීමත් සමඟයි.

ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන අද වනවිට 73,000 ඉක්මවා තිබේ.

ඒ අතරින් ආසාදිතයින් 72,000ක්ම වාර්තා වන්නේ චීනයෙන්.

අද දිනයේ අලුතින් එක් වූ ආසාදිතයින් ගණන 1886ක්.

එය ඊයේ(17) දිනට සාපේක්ෂව ආසාදිතයින් 100 කින් පමණ අඩුවීමක් පෙන්නුම් කරයි.

රෝගීන් 1701 දෙනෙකු අලුතින් සුවය ලැබීමත් සමග මෙතෙක් සුවය ලැබූ සමස්ත ගණන 12,552ක් බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.

චීනයට පරිබාහිරව ලොව රටවල් 30 කින් වෛරසයේ ආසාදිතයින් හමුවන අතර එම ගණන 688 සිට 800 දක්වා ඉහළ ගොස් තිබේ.

ආසාදිතයින් 29 දෙනෙකු දකුණු කොරියාවෙන් හඳුනා ගැනීමත් සමග එම පුද්ගලයින්ගේ තොරතුරු හා ඔවුන් ගැවසුනු ස්ථාන ප්‍රසිද්ධ කිරීමට දකුණු කොරියානු රජය පියවර ගෙන තිබේ.

ඒ,වෛරසය ආසාදනය වූ පිරිස් සමග සබඳතා පැවැත්වූ පිරිස් සිටීනම් ඔවුන්ට වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුවීමට අවස්ථාව ලබාදීමේ අරමුණින්.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ නව ආසාදිතයින් සංඛ්‍යාව අඩුවන ප්‍රවණතාවක් පෙන්නුම් කළත් ඒ සම්බන්ධයෙන් පැහැදිලි නිගමනයක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

තවදුරටත් ජනගහණ අතර ව්‍යාප්තියක් පෙන්වන නිසා පුරෝකථන සිදුකිරීමට කල් වැඩි බවද එම සංවිධානය ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් සාර්ස් හා මර්ස් වැනි වෛරස තරම් කොවිඩ් නයින්ටීන් වෛරසය මාරාන්තික නොවන බව පෙන්වා දෙන එම සංවිධානය ආසාදිතයින් අතරින් 80%ක් පමණ සුවය ලබනු ඇති බවටද අනාවැකි පළ කරයි.

දරුණු තත්ත්වයට පත්වන්නේ සියයට 14 ක් බවත් මරණ සංඛ්‍යාව සියයට 2 ක ප්‍රතිශතයක පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.