ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට ඇප

0
108

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියා බැරිස්ටර් ෆැරැන්සිස් දැඩි කොන්දේසි සහිතව ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඒ අනුව සැකකාරිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

සැකකාරියගේ ඇපකරුවන් දෙදෙනාගේ පදිංචිය තහවුරු කෙරෙන ග්‍රාම නිලධාරී සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවටත් සැකකාරිය ස්ථිර වශයෙන් පදිංචිව සිටින ස්ථානය තහවුරු කෙරෙන ග්‍රාම නිලධාරී සහතික ඉදිරිපත් කළ යුතු බවටත් ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරිය සදහන් කළාය.

එමෙන්ම තමන් පදිංචිව සිටින ස්ථිර ලිපිනය අධිකරණය වෙත දැනුම් දිය යුතු යැයි සැකකාරියට නියම කළ මහෙස්ත්‍රාත්වරිය පදිංචියේ වෙනසක් සිදුවෙන්න නම් ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දිය යුතු බවටත් ඇප නියෝගයේ සඳහන් කළේය.

එමෙන්ම සැකකාරියගේ විදේශ ගමන් තහනම් කෙරෙන අතර ඇයගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවටත් වෙනත් අන්‍ය නීතියක් යටතේ ඇය විසින් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කළ යුතු බවට නියෝගයේ වැඩිදුරටත් සඳහන් කෙරුණි.

පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජේෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා මෙම සැකකාරිය, ඇයගේ සැමියාගේ සහ ඇයගේ දරුවාගේ පාසල් ගුරුවරියගේ ජංගම දුරකතන ඇමතුම් පිළිබඳව දත්ත වාර්තාවක් ලබාගැනීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

සැකකාරියට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කිරීම සඳහා මෙම ලේඛන බෙහෙවින් වැදගත් වන බවයි රජයේ නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

ඒ අනුව රහස් පොලිසිය විසින් ඉල්ලා සිටින අදාළ වාර්තා ලබාදීමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් පෞද්ගලික දුරකතන සමාගමකට නියෝග කළාය.

මීට අමතරව පොලිස් විමර්ශන වලට අවශ්‍ය කරන දැනට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය භාරයේ තිබෙන සැකකාරියගේ සැමියාට අයත් ජංගම දුරකථනයක් ද විමර්ශන කටයුතු සඳහා රහස් පොලිසිය වෙත භාරදීමට සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ පොරොන්දු වුණි.

එම දුරකථනය භාරදීමෙන් පසුව අධිකරණය හමුවේ එය මුද්‍රා තබා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙසද මෙහිදී මහේස්ත්‍රාත්වරිය විසින් නියම කළාය.

අද පැමිණිල්ල කැඳවු ලැබූ අවස්ථාවේදී ජේෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පැහැරගෙන යාමේ සිද්ධිය ගොතන ලද කතාවක් බවට කරුණු තහවුරු වී තිබුණත් මෙම සිද්ධියේ සැකකාරියට යුක්තිය ඉටු කරනුවස් ඇය විසින් ප්‍රකාශකර ලබන කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව කියා සිටියේය.

සැකකාරියගේ දරුවන් තිදෙනාත් ඇයගේ මවත් දැනට දින දෙකකට පෙර ස්විස්ටර්ලන්තයට ගොස් තිබෙන බවට කරුණු අනාවරණය වී තිබෙන බව සඳහන් කළ ජේෂ්ඨ රජයේ නීතිඥවරයා මෙම තත්වය හමුවේ සැකකාරිය ද කිසියම් හේතුවක් මත අදාළ තානාපති කාර්යාලයෙන් දේශපාලන රැකවරණ ලබා ගතහොත් මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇතැයිද සඳහන් කර සිටියේය.

ඒ අනුව අප ප්‍රදානය කළ හොත් ඇය අධිකරණය මග හැර යාමේ ප්‍රවණතාවක් පවතින බව පෙන්වා ඔහු දුන්නේය.

එම අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා කියා සිටියේ තම සේවා දායිකාවගේ දරුවන් තිදෙනාත් මවත් නිවාඩුවක් ගත කිරීම සඳහා සිංගප්පූරුවට ගොස් තිබෙන බවත් ඔහුට ඉදිරි පාසල් කාලය ආරම්භ වීමට ප්‍රථම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන බව සඳහන් කළේය.

එහිදී මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසියෙන් විමසා සිටියේ සැකකාරියගේ මව ඇයගේ දරුවන් තුන් දෙනා සමග ස්විස්ටර්ලන්තයට ගොස් තිබෙන බවට කරුණු දැන ගත්තේ කෙසේද යන්නයි.

ඊට ප්‍රතිචාර දක්වමින් රහස් පොලිසිය අධ්‍යක්ෂවරයා කියා සිටියේ රහස් පොලිසියේ ගුවන් තොටුපොල ශාඛාව ලබා දුන් තොරතුරු මත මේ බව ප්‍රකාශය කරන බවයි.

කෙසේ වෙතත් විත්තියේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාගේ දරුවන් තුන් දෙනා සහ ඇයගේ මව සිංගප්පූරුවට ගොස් ඇති බවට ඉදිරිපත් කළ කරුණු සටහන් කරගත් මහේස්ත්‍රාත්වරිය එම කරුණ මතම සැකකාරියගේ ඇප ඉල්ලීම ඉවත ලිය නොහැකි බව ප්‍රකාශ කළාය.

දීර්ඝ කරුණු අධ්‍යයනයකින් පසුව සැකකාරිය දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට තීන්දුකල මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ල නැවත ජනවාරි මස 09 වැනිදා කැඳවීමට ද නියම කළාය.