සිංගප්පූරුවේ දී අභාවප්‍රාප්ත වු රංජිත් සොයිසාගේ දේහය අද රාත්‍රියේ දිවයිනට

0
6

එක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයාසා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ, සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

මියයන විට මන්ත්‍රීවරයා 57 හැවිරිදි වියේ පසු වුණා.

ඔහුගේ දේහය අද රාත්‍රියේ දිවයිනට ගෙන ඒමට නියමිතයි.

වර්ෂ 1962 මැයි මස තුන්වනදා ගොඩකවෙල අල්පිටිය ගම්මානයේ උපත ලැබූ රංජිත් සොයිසා මහතා පිරිමි දරුවන් පස්දෙනෙකු හා ගැහැනු දරුවන් දෙදෙනෙකු ගෙන් යතු පවුලේ දෙවැනි පිරිමි දරුවායි.

ගොඩකවෙල අල්පිටිය සිද්ධාර්ථ මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ගොඩකවෙල අල්පිටිය රාහුල විද්‍යාලයෙන් ද්විතීය අධ්‍යාපනය ලබන රංජිත් සොයිසා මහතා කෘශිකර්ම ක්ශේත්‍රය සම්බන්ධයෙන් ඩිප්ලෝමාධාරියෙකු ද වෙයි.

පසු කාලීනව විප්ලවකාරී අදහස් දරමින් 88 – 89 සමයේ ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලන රැල්ලට එක්ව දේශපාලනයේ අත් පොත් තබයි.

අනතුරුව 1997 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ගොඩකවෙල අටකලම්පන්න ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරීපත් වන අතර 2002දී යළි පත්වන්නේ එහි විපක්ෂනායකවරයා ලෙසයි.

අනතුරුව 2004 වසරේදී සහ 2008 වසරේදී සබරගමු පලාත් සභාවට තේරීපත්වන රංජිත් සොයිසා මහතා එහි අමාත්‍යධුර කිහිපයකම කටයුතු කරනු ලබයි.

2010 වසරේදී රක්වාන ආසනය නියෝජනය කරමින් ඔහු ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරීපත්වන අතර 2015 වසරේදීද එම ආසනයම නියෝජනය කරමින් යළි පාර්ලිමේන්තුවට තේරීපත් වෙයි.

එතැන්සිට වත්මන් ක්‍රියාකාරී දේශපාලනයේ ප්‍රබල චරිතයක් වෙමින් විටෙක පුවත් මවන්නෙකු ද වූ රංජිත් ද සොයිසා මහතා මියයන තෙක්ම ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායක ධූරයේ කටයුතු කළේය.

සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ රංජිත් සොයාසා මහතාගේ දේහය අද්‍(04) රාත්‍රියේ දිවයිනට රැගෙන ඒමට නියමිත අතර අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

මේ අතර රංජිත් සොයිසා මහතාගේ අභාවයත් සමඟ පුරප්පාඩුවන මන්ත්‍රී ධුරය සඳහා මීළඟට මනාප ලැයිස්තුවේ පෙරමුනේ පසුවන්නේ හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ ලියනගේ මහතායි.