අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 5415ක් පීඩාවට

0
7

ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 1480කට අයත් පුද්ගලයින් 5415 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.

යාපනය,කිලිනොච්චිය,මුලතිව් සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලට අදත් මිලිමීටර 150ක පමණ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමග මේ වනවිට දිවයිනේ උතුරු,උතුරුමැද, නැගෙනහිර පළාත්වලටත් මධ්‍යම කඳුකරයටත් අධික වැසි සහිත කාලගුණික තත්ත්වයක් බලපා තිබේ.

නුවරඑළිය වලපනේ මලපට්ටාව ප්‍රදේශයේ පෙරේදා රාත්‍රියේ නිවසක් මතට විශාල පස්කන්දක් නායයෑමෙන් සිදුවූ ආපදාවෙන් එම නිවසේ සිටි එකම පවුලේ සාමාජිකයින් තිදෙනෙකුගේ මළ සිරුරු ඊයේ සොයාගැනුණි.

කෙසේවෙතත් එම පවුලේ 15 හැවිරිදි දරුවාගේ දේහය සොයා අද පෙරවරුවේ සිට මෙහෙයුම් ආරම්භ කර තිබේ.

මෙම නායයෑම සිදුව තිබුණේ මහනුවර – වලපනේ ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර කරමින්ය.

මේ අතර බිබිල ඌරුමීතැන්න කන්ද නායයෑම හේතුවෙන් නිවාස 03කට අලාභහානි සිදුව ඇති අතර ප්‍රදේශයේ බෝග වගාවන්ද විනාශ වී තිබේ.

නායයෑම හේතුවෙන් එම කන්ද පාමුල පිහිටි සේනාපතිය හා මැදපිටිය ගම්මාන දෙකෙහි පවුල් 20කට අයත් 54 දෙනෙකු මැදපිටිය නීලගිරි විහාරයෙත් රඳවා සිටියි.

මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මන්මුණේ උතුර, කාත්තන්කුඩි, ආරයන්පති, වවුනතිව්, වාලච්චේන හා කිරාන් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට පවුල් 51කට අයත් පුද්ගලයින් 185 දෙනෙකු පීඩාවටත් පත්ව සිටියි.

මේ අතර අනුරාධපුර නාච්චාදූව වැවේ හදිසි වාන්දොරටු 06න් දොරටු 02ක් මේ වන විට විවෘත කර තිබේ.

එහි පිටාර සීමාව අඩි 25ක් වන අතර මේ වනවිට ජලාශය අඩි 24ක් දක්වා ජලයෙන් පිරී පවතියි.

වාන්දොරටු විවෘත කිරීමත් සමග තත්පරයට ඝනඅඩි 500ක ජලධාරිතාවක් මල්වතු ඔයට මුදාහැරෙන බව වාර්තා වෙයි.

පුත්තලම ඉඟිනිමිටිය ජලාශයද වසර 03කට පසු මෙවර වාන් දමා තිබේ.

ඒ අනුව එහි වාන් දොරටු 06ම මේවනවිට විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 4000ක පමණ ජල ධාරිතාවක් මී ඔයට මුදා හැරෙයි.

මේ හේතුවෙන් මී ඔය පහළ මිටියාවතේ ජනතාවට අවධානයෙන් පසුවන්නැයි වාරිමාර්ග ඉංජිනේරුවරුන් දැනුම් දෙයි.