රියෝ නගරයේ රෝහලක ගින්නක්

0
10

බ්‍රසීලයේ රියෝ ද ජනයිරෝ නගරයේ ප්‍රධාන පෙළේ රෝහලක ඇති වූ ගින්නකින් එක් අයෙක් මියගොස් තවත් කිහිපදෙනෙක්ම තුවාල ලබා තිබේ.

ගින්න පාලනයට ගිනි නිවන සේවකයන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ බවත් බ්‍රසීල වාර්තාවල සදහන්.
බ්‍රසීලයේ රියෝ ද ජනයිරෝ නගරයේ බඩීම් රෝහලේ හටගත් ගින්නෙන් මියගොස් ඇත්තේ එහි ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙක් බවට වාර්තා වෙයි.

විදෙස් පුවත් වැඩිදුරටත් සදහන් කළේ රෝහල සමීපයේ පිහිටි වෙනත් ගොඩනැඟිල්ලක හටගත් ගින්නක් රෝහල වෙත ව්‍යාප්තවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

ගින්න වාර්තාවීමත් සමගින් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් සියගණනක් හා කාර්ය මණ්ඩලය වහාම ඉන් ඉවත්කිරීමට බලධාරීන් කටයුතු කළේය.

කෙසේ නමුත් පිරිස ඉවත්කිරීමට හා ගින්න පාලනයට දැඩි වෙහෙසක් දැරීමට බලධාරීන්ට සිදුවිය.

රෝහලේ උස් ස්ථානවල පිහිටි ජනේල බිඳිමින් පවා රෝගීන් මුදාගැනීමට සිදුවූ බව විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

රෝහලෙන් ඉවත්කළ රෝගීන් වෙත කඩිනම් ප්‍රතිකාර ලබාදීමට කාර්ය මණ්ඩලය උත්සුක වූ අතර ඒ සදහා වෙනත් රෝහල්වල වෛද්‍යවරුන් පවා පැමිණ සිටියේය.

ගින්නෙන් තුවාල ලැබූ හා අසාධ්‍ය තත්ත්වයේ සිටි පිරිස් මුදාගැනීමට වෛද්‍යවරුන් රෝහල අසළ වීථිවල සිටම කටයුතු කළ අයුරුද මේ වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි.