ප්‍රහාරයට පැමිණි පිරිසෙන් 03 දෙනෙක් හඳුනා ගනී

0
247

මානිප්පායි, ඉනුවිල් ප‍්‍රදේශයේදී ඊයේ (20) රාති‍්‍රයේ පොලීසියට පහරදීමට පැමිණි පිරිසෙන් 03 දෙනෙකු හඳුනාගෙන ඇති බව පොලීසිය පවසනවා. ආවා කල්ලියෙන් වෙන් වූ පිරිසක් ඉලක්ක කර එම කල්ලියේ පිරිසක් ප‍්‍රහාරයකට පැමිණි අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.

තියුණු ආයුධ රැගත් ආවා කල්ලි සාමාජිකයින් පිරිසක් ඉනුවිල් ප‍්‍රදේශයේ නිවාස කිහිපයකට පහර දීමට පැමිණෙන බවට ලද තොරතුරක් අනුව මානිප්පායි පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් ඊයේ රාති‍්‍රයේ එම ප‍්‍රදේශයේ පුද්ගලයින් සහ වාහන පරීක්ෂාවකට ලක් කළා. එම අවස්ථාවේදීයි තියුණු ආයුධ රැගත් පුද්ගලයින් 06 දෙනෙකු යතුරු පැදි 03 කින් පැමිණ ඇත්තේ. පොලිස් නිලධාරීන් විසින් අදාළ ආයුධ සන්නද්ධ පුද්ගලයින් පිරිස අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ අවස්ථාවේදී ඔවුන් පොලීසියට කඩු වලින් පහර දීමට තැත් කර තිබෙනවා.

එහිදී පොලීසිය සිදු කළ වෙඩි තැබීමකින් ආවා කල්ලි සාමාජිකයෙකු මිය ගිය අතර ඔහු කොඩිකාමම් ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි අනාවරණ වී ඇත්තේ. සැකකරුට වෙඩි ප‍්‍රහාර එල්ල කළ පොලිස් නිලධාරියා ඉලක්කයට වෙඩි තැබීමේ අංශයෙන් ඉහළම ලකුණු හිමිකර ගත් නිලධාරියෙකු බව ද පොලීසිය සඳහන් කළා.

මෙම සිද්ධියෙන් පසු වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී එක් සැකකරුවෙකුගේ මුදල් පසුම්බියක් ද සොයා ගෙන තිබෙනවා. එහි තිබූ හැඳුනුම්පත අනුව එම සැකකරුගේ මාන්ප්පායි ප‍්‍රදේශයේ නිවස පරීක්ෂා කළ ද ඔහු එහි නොසිටි බවයි පොලීසිය සඳහන් කළේ.  

සැකකරුවන් රැගෙන ආ කෙටේරි 02ක් ද, මෙහිදී සොයා ගත් අතර ඒවා සකස් කර ඇත්තේ යතුරුපැදිවල කොටස් භාවිතා කරමින්. සැකකරුවන් සතුව තිබූ කඩු 03 ක් සහ එක් යතුරු පැදියක් පොලිස් භාරයට ගැනුණා. පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මානිප්පායි ප‍්‍රදේශයේ තවදුරටත් සෝදිසි මෙහෙයුම් කි‍්‍රයාත්මකයි. ආවා කල්ලිය මර්ධනය කිරීම සඳහා මානිප්පායි ඇතුළු ප‍්‍රදේශ රැසක ආරක්ෂක අංශ දියත් කර ඇති මෙහෙයුම් සඳහා එම ප‍්‍රදේශවල ජනතාවගේ ප‍්‍රසාදය ද හිමිව තිබෙනවා.