ෂැන්ග්‍රිලා බෝම්බයෙන් තුවාල ලද නීතීඥයා කෝටි 50ක වන්දි මුදලක් රජයෙන් ඉල්ලයි

0
100

කොළඹ ෂැන්ග්‍රිලා හෝටල්යේදී පිපිරී ගිය බෝම්බයට හසුව බරපතළ පිළිස්සුම් තුවාල. ලැබූ නීතිඥවරයෙකු රජයෙන් රුපියල් කෝටි 50ක වන්දි මුදලක් තමන්ට අයකර දෙන්නැයි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (10දා) ඉදිරිපත් කළේය.

පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුම්වත්ව තිබියදී, ඊට නිසි පිළියම් නොයෙදීමෙන් තමන්ට මෙම හානිය සිදු වූ බව පවසමින් ඉදිරිපත් කොට ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම හෙට (12දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.

නීතිඥවරයෙකු වන මෝදිත ටිකිරි බණ්ඩාර ඒකනායක මහතා ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර, රජයේ බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන, විශේෂ ආරක්‍ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක යන මහත්වරුන් සහ නීතිපති ඇතුළු වගඋත්තරකරුවන් 44 දෙනෙකු නම් කර තිබේ.

නීතිඥ ඩිල්ෂාන් මනම්පේරී මහතා මාර්ගයෙන් ගොනු කර ඇති මෙම පෙත්සමේ පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුම්වත්ව තිබියදී ඊට නිසි පිළියම් නොයෙදීමෙන් තමන්ගේත් රටෙහි ජනතාවගේත් මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි ප්‍රකාශයට පත් කරන්නැයිද සඳහන් කර ඇත.

පසුගිය අප්‍රේල් 21 වැනිදා කොළඹ ඇතුළු ස්ථාන අටක පාස්කු ඉරුදින අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ සහාය ඇතිව ජාතික තවුහිත් ජමාද් නමැති සංවිධානයේ නායක සහරාන් හෂීම් නමැත්තෙකු විසින් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී සිදු කළ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයට තමන්ද ගොදුරු වූ බවත්, එම බෝම්බ ප්‍රහාරයට හසුව දැඩි ලෙස පිළිස්සුම් තුවාලවලට ලක්වූ තමන් ෂැන්ග්‍රිලා හෝටලයේ කුලී රථ සේවාවේ රියදුරෙකු විසින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද බවත් සඳහන් කරන පෙත්සම්කරු, මෙම ප්‍රහාරයෙන් සිය හිස, මුහුණ, දෙඅත් සහ දකුණු කලවට දැඩි පිළිස්සුම් තුවාල ලැබූ බවත්, තමන් එතැන් පටන් දින දෙකක් එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේද, පසුව එම රෝහලේ පිළිස්සුම් ඒකකයේ මාසයකට අධික කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබා ගත් බවත් අදාළ පෙත්සම මගින් සඳහන් කර තිබේ.

මෙම බෝම්බ ප්‍රහාරයෙන් දැඩි කායිකව පීඩාව පත් තමා ඇතුළු රටෙහි ජනතාවගේ ආරක්‍ෂාව පිළිබඳ ගැටලුවක් පැන නැඟී ඇති බවත්, මෙම තත්ත්වය තුළ රජය රටෙහි ජනතාවගේ ආරක්‍ෂාව පිළිබඳ කටයුතු කළ යුතුව ඇති අතර, රටේ ජනතාවගේ ආරක්‍ෂාව වගඋත්තරකරුවන් විසින් නිසි අයුරින් නොසැලකීම තුළින් ජනතා මූලධර්මය උල්ලංඝනය වී ඇති බවත් පෙත්සම්කරු පවසා සිටියි.

එසේම මෙම සිද්ධිය පිළිබඳ පූර්ව දැනුම්වත්ව සිටියදීත් ඒ පිළිබඳ පියවර නොගැනීමෙන් වගඋත්තරකරුවන් සිය වගකීම් පැහැර ඇති බවද හෙතෙම සඳහන් කරයි.

මෙම තත්ත්වය තුළ වගඋත්තරකරුවන් විසින් ජනතාවගේත්, තමන්ගේත් මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි ප්‍රකාශයට පත් කරන ලෙසද, බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ තමන්ට කෝටි 50ක වන්දි මුදලක් අයකර දෙන්න ලෙසද ඉල්ලා තිබේ.