ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව අද විවාදයට

0
39

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව. පාර්ලිමේන්තුවේදී අද (10) විවාදයට ගැනෙනවා. මෙලෙස ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවේ මන්දැයි ජනතා විමුක්ති පෙරමුණෙන් මාධ්‍ය විමසීමක් කළා. එහි නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක කියා සිටියේ ආණ්ඩුව පරාජය කර මහ මැතිවරණයක් ලබා ගැනීම තම පක්ෂයේ අරමුණ බවයි.

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදෙන බව ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රකාශ කළා. ඊට බලපෑ හේතු කවරේදැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් සොයිසාගෙන් මාධ්‍ය විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන කණ්ඩායම හෝ පුද්ගලයින් කවුරුන් වුවත් එය රජයේ වැඩපිළිවෙලට එරෙහිව ඉදිරිපත් වන්නක් නිසා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කටයුතු කරන බවයි. කෙසේවෙතත් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන ජනතා විමුක්ති පෙරමුණ පසුගිය වසර හතරහමාරක කාලය තුළ රජය ආරක්ෂා කිරීමටත් අගමැතිවරයා ආරක්ෂා කිරීමටත් ගත්තා වූ සියලු උත්සහයන් පිළිබඳව සිය පක්ෂය නිසි තක්සේරුවක සිටින බවද සඳහන් කළා.

මෙම විශ්වාසභංග යෝජනාවෙන් ජයගත හැකිදැයි ආණ්ඩුවෙන් ද මාධ්‍ය විමසීමක් කළා. ඊට ප‍්‍රතිචාර දැක්වූ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා සඳහන් කළේ ආණ්ඩුවට එරෙහි චෝදනා සත්‍යයෙන් තොර බවයි. ආණ්ඩුව පෙරළීමට නම් එල්ල කරන චෝදනා සත්‍ය විය යුතු බවද සඳහන් කළා. වසර 05ක පූර්ණ ධූර කාලය දැරීමට මෙම රජය අපේක්ෂා කරන බවද පෙන්වා දුන්නා.

මේ අතර විශ්වාසභංග යෝජනාවේදී ගන්නා තීරණය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට සහාය නොදක්වන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ අනුව විශ්වාසභංගයේදී ගන්නා තීරණය කුමක් දැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගමගෙන් මාධ්‍ය විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ සිය තීරණය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන බවයි.

ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවට අදාල විවාදය අද (10) සහ හෙට (11) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමෙන් පසු හෙට පස්වරුවේ ඊට අදාල ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.